ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න වේගපන්දුවට ඉඩක් දෙන්න

ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න වේගපන්දුවට ඉඩක් දෙන්න

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තව දුරටත් ඉදිරියට ගෙනයාමට නම් දැනට දඟපන්දු යවන්නන්ගේ ආධිපත්‍යයට නතුවී ඇති මෙරට පළමුපෙළ තරගවලදී වේගපන්දු යවන්නන්ට යෝග්‍ය ලෙස තණතීරු සකස් කළ යුතු යැයි ශ්‍රී ලංකා පිලේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ප්‍රකාශ කළේය.

වර්තමානයේ දී මෙරට පළමුපෙළ තරගාවලි පැවැත්වෙන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, ශ්‍රී ලංකාවට හොඳ වේගපන්දු යවන්නන් බිහිකරගැනීමට අවශ්‍යනම් මෙරට පළමුපෙළ තරගවලදී ඔවුන්ට වැඩි වශයෙන් පන්දු යැවීමට හැකිවන පරිදි තණතීරු වෙනස් කළ යුතු බව වාස්ගේ අදහස වී තිබේ.

ඉන්දීය පිලට එරෙහිව පෙරේදා (12) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ නිමාවෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට පැමිණි චමින්ද වාස් මේ අදහස් පළ කළේය.

පළමු දිනයේ ඉනිම ආරම්භ කළ ඉන්දීය පිල පළමු කඩුල්ලට ලකුණු 188ක් සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නන්ට දිගට හරහට ප්‍රහාර එල්ල කළහ.

‘අපේ පළමුපෙළ ක්‍රිකට් තරගවලදී වේගපන්දු යවන්නන්ට අවස්ථාව දෙනවා මදි. දැන් ඒ තරගවල මුලින්ම පන්දු යවන්නෙත් දඟපන්දු යවන්නෝ. වේගපන්දු යවන්නන්ට තරගය පුරාම යවන්න ලැබෙන්නේ ඕවර කිහිපයක් පමණයි. මේක හැමදාම කතාවෙනවා විතරයි කෙරෙන්නෙ නෑ.’ වාස් කීවේය.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් දක්වන තුන්ඉරියව් ක්‍රීඩකයන් පසුකාලීනව පිතිකරුවන් ලෙස පමණක් ක්‍රීඩා කිරීමත් වාස්ගේ අප්‍රසාදයට ලක්විය.

‘අපේ ගොඩාක් වේගපන්දු යවන්නන්ට හොඳින් ලකුණු රැස් කරන්නත් පුළුවන්. ඒත් මොකද වෙන්නේ එයාලා මැදපෙළ පිතිකරුවන් හැටියට ක්‍රීඩා කරන්න පටන් ගත්තම ඔවුන් පන්දු යැවීමෙන් ඈත් වෙනවා. මේ තත්ත්වයත් වෙනස් විය යුතුයි. ඔවුන් තුන්ඉරියව් ක්‍රීඩකයන් විදිහටම ක්‍රීඩා කළ යුතුයි.’ ඔහු කීවේය.

lankaflix

fox final 0728 mirror