අපි ගැන විශ්වාසය තියන්න යැයි තරංග ඉල්ලයි

අපි ගැන විශ්වාසය තියන්න යැයි තරංග ඉල්ලයි

ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේදී අපට හමුවන තවත් නිහතමානී චරිතයක් ලෙස මේ උපුල් තරංග නම් කළ හැකියි. වර්තමානයෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් උපුල් ගැන ක‍්‍රිකට් ලෝලීන් ආදරණීයව කතා බහ වන මොහොතකි මේ. ඔහු පෙන්වන පිතිහරඹයේ දක්‍ෂතාවය ඊට හේතුවය. උපුල් සමග කතා බහකට එක්වූ මොහොතකි මේ.

උපුල් නැවතත් එක්දිaන සහ විස්සයි – විස්ස කණ්ඩායමේ නායකත්වයට පත්වූ ඔබට ඒ ගැන දැනෙන හැඟීම් මොනවගේද?

ජාතික කණ්ඩායමේ නායකත්වයට පත්වීම කියන්නේ රට පෙරට තබා, මුළු රටම නියෝජනය කිරීමට ලැබෙන අවස්ථාවක්. ඒක ඇත්තටම ලොකු වගකීමක්. රටක් වෙනුවෙන් නායකත්වය ලබාදීම හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා ඒ ලැබුණු අවස්ථාවට උපරිම ගෞරවයක් ලබාදීම තමයි මගේ ප‍්‍රයත්නය. මුළු රටේම ක‍්‍රිකට් ලෝලීන් බලා සිටින්නේ අපේ ජයග‍්‍රහණයයි. අපේ ආදරණීය ඒ වගේම වඩාත් විනීත ක‍්‍රීඩාලෝලීන් වෙනුවෙන් ජයග‍්‍රහණ ලබාදීම අපේ මුළු කණ්ඩායමේම අරමුණයි.

මුල අමතක නොවුණ ක‍්‍රීඩකයෙක් කියලා තමයි ඔබට හැමෝම කියන්නේ. මේ ගුණය හැමදාටම තියේවිද?

මම මොනවගේද? කොහොම කෙනෙක්ද කියලා ඇත්තටම මට වඩා පෙනෙන්නේ අනෙක් අයටයි. කුඩා කාලයේ සිටම මම හැදුණු විදිය තමයි මේ. නායකත්වයට පත්වුනාය කියලා ඒ විදිය වෙනස් වන එකක් නැහැ. මම හැමදාමත් එදා සිට උපුල්ම තමයි.

නායකත්වයට එහා ගිය ලොකු සතුටකින් සිටින වග නම් පෙනෙනවා, එහෙම නේද?

ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස විටෙක මාත් කි‍්‍රකට් ලෝලියකු වෙනවා. ඒ නිසා ක‍්‍රීඩාව වින්දනය කරනවා. ක‍්‍රීඩකයකු ලෙස සාර්ථක වුණාමත් දැනෙන්නෙ ලොකු සතුටක්. ඒ සාර්ථකත්වයෙන් කණ්ඩායමට උපරිම ඵල නෙලා දීමට හැකිවුනාම සතුට නිරන්තරයෙන් රැඳෙනවා. කණ්ඩායමක් ලෙස අපි කොහොමටවත් පරදින්න කැමති නැහැ.

ඔබට ආදරය කරන බොහෝ ක‍්‍රිකට් පේ‍්‍රක්ෂිකාවන්, බලාගෙන සිටින්නෙ, ඇයි උපුල් තවම තනිකඩ කියලා? තවම ආදරයක් ගැන හිතලා නැද්ද?

ආදරය කරන කෙනෙක් ඉන්නවා. නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඉතින් විවාහයක් ඉදිරියේදී සිදුවේවි. එදාට අපි වැඩි විස්තර කතා කරමු.

අද කොහොමද ඔබට ජීවිතය දැනෙන්නේ?

ක‍්‍රීඩකයකු ලෙස සාර්ථකවීම වගේම අසාර්ථකවීම් ද තිබුණා. 2013න් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක දිගට ක‍්‍රීඩා කරන්න ලැබුණෙත් නැහැ. කණ්ඩායමට ඇතුළට එනවා. ආයෙත් එළියට යනවා. ඒ විදියට වෙද්දි නැවතත් කණ්ඩායමට ඇවිත් ක‍්‍රීඩා කළ යුතුමයි කියන අරමුණ තමයි නිරන්තරයෙන්ම තිබුණෙ.

නායකත්වයට පත්වෙනවාය කියන හීනය තිබුණාද?

එක දිගට කණ්ඩායමේ වසර තුන හතරක් ස්ථානය නොමැතිව සිටි මම නායකත්වය කියන දේ හීනෙකින්වත් හිතුවෙ නැහැ. නායකත්වය කියන දේ ඒක වෙනස්ම දෙයක්. මගේ සාර්ථකවීම් එකක් ක‍්‍රිකට් ආයතනය මා ගැන විශ්වාසය තබා ලබාදුන්න ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන රට දිනවීම තමයි එකම අරමුණ. පුද්ගලිකව සාර්ථක වනවාටත් වඩා කණ්ඩායමක් ලෙස එකමුතුව – ශක්තිමත්ව ක‍්‍රීඩා කරමින් රටට ජයග‍්‍රහණ ගෙන දීම අපි හැමෝගෙම අරමුණයි.

පරාජය වන විට විවිධ කතා පැතිරෙනවා. කණ්ඩායමේ ක‍්‍රීඩකයින් විරසක වෙලා, අර්බුද ඒ වගේ දේ ප‍්‍රකාශ වෙද්දි මොන වගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ?

අද වන විට සමාජජාලා වෙබ් අඩවි වැනි දේ භාවිතය වැඩි නිසා බොහෝ ප‍්‍රචාරයන් ගලා යනවා. ඒක අපට වළක්වන්න බැහැ. ක‍්‍රීඩකයින් ලෙස අපට තිබෙන රාජකාරිය වන්නෙ පිට්ටනිය මැදට ගිහින් තරග ජයග‍්‍රහණය කර දීමයි. තරග පරදින්න වුණාම තමයි ඔය කතා ඔක්කොම එන්නෙ.

නායකත්වය කොහොම විය යුතුය කියාද ඔබ හිතන්නේ?

කණ්ඩායමේ සිටින අනෙක් ක‍්‍රීඩකයින් සියලූ දෙනාටම ආදර්ශයක් වෙමින් ඔවුන් ඉදිරියෙන් තබා කටයුතු කිරීමයි. එතැනදී මම කියනවාට වඩා අපි කියලා කියන්න කැමතියි. අපි හැමෝම එකට එකතුවෙලා තමයි තරගය දිනවන්නෙ. ඉතින් ඒ ජයග‍්‍රහණයේ අයිතිය සතුට බුක්තිය මුළු කණ්ඩායමටම සතුයි. ඔවුන් සියලූ දෙනාටම ධෛර්යයක් වෙමින් නායකයා ලෙස සාර්ථක වී නිතරම පෙරමුණගෙන කටයුතු කළොත් එය හැමෝටම ධෛර්යයක් වෙනවා. නායකයා විතරක් කැපී පෙනෙන්නට ගියොත් එය සාර්ථක දෙයක් වන්නෙ නැහැ.

උපුල් අද දවසේ ඔබගෙ ජීවිතය ගෙවෙන්නේ කොහොමද? ක‍්‍රිකට්වලින් තොරව කතා කළොත්?

පසුගිය මාස කීපය බෙහෙවින් අවිවේකී වුණා. පෞද්ගලික ජීවිතයට වඩා ක‍්‍රිකට් වෙනුවෙන්ම කැපවුණා. එක දිගටම සංචාර තිබුණා. ඉදිරියටත් තරග බොහෝමයි. ඒ නිසා ඇත්තටම පෞද්ගලික විවේකයක් නැති තරම්. මුළු කාලයම වැය වන්නේ ක‍්‍රිකට්වලටයි.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ මොන විදියට ද ගෙවන්න කැමති?

කවුරුත් වගේ, කාටවත් කරදරයක් නැතුව ජීවත්වීම තමයි ප‍්‍රධාන අරමුණ. ඒ වගේම සියලූ දෙනා එක්කම මිත‍්‍රශීලීව සහයෝගයෙන් ජීවිතය ගෙවීමට කැමතියි. අපි අතින් වැරදි වෙන බව ඇත්ත. නමුත් කා එක්කවත් අමනාප නොවී මිත‍්‍රශීලිව කටයුතු කිරීම තමයි වැදගත්.

සමාජ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍ය වෙතින් එල්ල වන විවේචන හමුවේ ඔබ ඒවාට මුහුණ දෙන්නෙ කොහොමද?

ක‍්‍රීඩකයෙක් විදියට හොඳ – නරක දෙකටම මුහුණදීමේ ශක්තිය තිබෙන්න ඕනෑ. ඒ වගේම අපි සාර්ථක වන විට ලැබෙන හොඳ ප‍්‍රතිචාර ගැන විතරක් නෙවෙයි අසාර්ථක වන විට පේ‍්‍රක්ෂකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරවලටත් මුහුණදෙන්න ඕනෑ. සියලූ දෙනා අපේක්‍ෂා කරන්නෙ අපේ ජයග‍්‍රහණයි. ඉතින් ඒ අපේක්‍ෂා බිඳ වැටුනාම හිතට දැනෙන දේ ඔවුන් ප‍්‍රකාශ කරනවා. ඒක ස්වභාවික දෙයක්. ක‍්‍රීඩකයකු ලෙස ගල් – මුල් – සහ මල් සියල්ල උපේක්‍ෂාවෙන් දරාගැනීමට තරම් නිහතමානී වෙන්න ඕනෑ.

ඔබගේ ක‍්‍රීඩා ලෝලීන්ට මේ වෙලාවෙ කුමක්ද කියන්න තියෙන්නෙ?

තරගයක් දෙකක් පරාජය වූ නිසාම ඒ මානසිකත්වයේ සිටින්න එපා. ශ්‍රී ලාංකීය පේ‍්‍රක්‍ෂකයින් අපට ආදරේ වග අපි දන්නවා. මේ ඉන්දීය කණ්ඩායම ලෝකයේ ප‍්‍රබලම කණ්ඩායමක්. ඊටත් කණ්ඩායමක් ලෙස ඉන්දියාව පරාජය කරවීමට මේ අපට ලැබිලා තියෙන්නෙ ලොකු අවස්ථාවක්. අපි ගැන විශ්වාසය තබලා එන්න තරග නරඹන්න.

lankaflix

fox final 0728 mirror