මාලිංග අයියා බෝල් කරනව බලන් ඉඳල ඒ ඇක්‌ෂන් එකෙන් බෝල් කළේ නැහැ

මාලිංග අයියා බෝල් කරනව බලන් ඉඳල ඒ ඇක්‌ෂන් එකෙන් බෝල් කළේ නැහැ

“මාලිංග අයිය මට කිව්වා එක එක පුහුණුකරුවන් අත උඩින් දාන්න යටින් දාන්න කියයි. ඔයාට පුලුවන් ටැලන්ට්‌ එක දිගටම කරගෙන යන්න ලොකු ගමනක්‌ තියෙනව කියලා.”

අසන්ත ද මැල්, රවී රත්නායක, චමින්ද වාස්‌ සහ ලසිත් මාලිංග මෙරට වේග පන්දුව ඔසවා තැබූ රජවරුන්ය. ඒ අතරින් චමින්ද වාස්‌ සහ ලසිත් මාලිංග ක්‍රිකට්‌ පිටියේදී කළ හපන්කම් මහ මෙරකි. නමුත් එම යුගයෙන් පසුව අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට ගැලපෙන වේග පන්දු යවන්නන් දුසිම් ගණන් සිටියද හරිම සුදුස්‌සා සොයමින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරුවෝ තවමත් ළතවෙමින් සිටිති. එවැනි යුගයක මාලිංගගේ අසාමාන්‍ය ඉරියව්වට සමානම පන්දු යවන්නකු දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල සැරිසරමින් සිටියි. ඔහුට මාලිංග මෙන් අනාගතයක්‌ තිබේවිද යන්න අනාගතය විසින් විසඳනු ලබයි.

පාසල් ක්‍රිකට්‌ දිවියේ කිසි දිනක ලෙදර් පන්දුවෙන් ක්‍රිකට්‌ ක්‍රීඩා නොකළ මොහුව දැනටමත් හඳුන්වන අන්වර්ථ නාමය ලසිත් මාලිංගය. පැයට කිලෝ මීටර් 135 කට වැඩි වේගයෙන් පන්දු යවන්නට සමත් මොහු නුවන් තුෂාරය. තමාගේ ඉරියව්වෙන් පන්දු යවන නුවන් තුෂාරට ලොකු අනාගතයක්‌ ඇති බවට මාලිංගද ඔහුට පවසා තිබේ. එළැඹෙන පළමු පෙළ තරගවාරයේදී පෙරළියක්‌ කරමින් ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ සොයා ගැනීමේ සිහිනයක තනිවී ටොරින්ටන් හී පිහිටි බැඩ්මින්ටන් නිවහනේ ලැගුම් ගනිමින් පුහුණුවීම් කරන නුවන් තුෂාර සිය ජීවිත කතාව මෙසේ මුදාහැරියේය.

“මම පාසල් ගියේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට. පාසල් කාලයේදී දවස්‌ දෙකයි පුහුණුවීම්වලට ගියේ. පාසල් ක්‍රිකට්‌ ගහන්නනම් බැරි වුණා. ඒත් පස්‌සෙ සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ ගහල තමයි මම දැන් පළමු පෙළ ක්‍රිකට්‌ ක්‍රීඩා කරන්න ඇවිල්ලා තියෙන්නෙ. එස්‌.එස්‌.සී ක්‍රීඩා සමාජය මට ලොකු ශක්‌තියක්‌ වුණා පළමු පෙළ ක්‍රීඩා කරන්න.” යනුවෙන් නුවන් තුෂාර සිය කතාවට මුල පිරුවේය.

ලසිත් මාලිංගව කොපි නොකළ බවත් සැහැල්ලු පන්දු ගහන විට කණ්‌ඩායම්වලට ස්‌ථානය ලබා ගන්න තනියම වේගයෙන් පන්දු යවන්නට ගොස්‌ මාලිංගගේ ඉරියව්ව තමාට ආවේනික වූ බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

“ඇත්තටම මම ලසිත් මාලිංග අයියා බෝල් කරනව බලන් ඉඳල ඒ ඇක්‌ෂන් එකෙන් බෝල් කළේ නැහැ. මම මුලින්ම අත කෙළින් අරගෙන තමයි පන්දු යෑව්වෙ. නමුත් ගමේ සැහැල්ලු පන්දු කණ්‌ඩායම්වල ස්‌ථානය ගන්න ඕන හින්ද තනියම විකට්‌ කූරක්‌ ඉන්දල බෝල් කළා. හයියෙන් දාන්න ගිහිල්ල තමයි මාලිංග වගේ බෝල් කරන්න හුරු වුණේ. මේ ඉරියව්ව නිසා මට දැන් ක්‍රිකට්‌ ජීවිතය වෙලා.”

පුහුණු දැල තුළදී ලසිත් මාලිංග නුවන් තුෂාරට අපූරු කතාවක්‌ කියා තිබේ. ඒ කතාව ඔහු මෙසේ පැවසීය. “දවසක්‌ මම පන්දු යවනකොට ලසිත් මාලිංග අයියව හම්බ වුණා. එයා ඇවිල්ලා කිව්වා මල්ලි ඔයාට ලොකු අනාගතයක්‌ තියෙනව පුහුණුකරු මොනව කිව්වත් හොඳ දේවල් අරගෙන අනිත් දේවල් අයින් කරල ඔයාගෙ හැකියාව දියුණු කරගන්න කියලා. ඔය පන්දු යවන ඉරියව්ව වෙනස්‌ කරන්න එක එක පුහුණුකරු ඇවිල්ලා කියයි අත උඩින් දාන්න යටින් දාන්න කියලා. ඒ කිසිම දෙයක්‌ කරන්න එපා කියල කිව්වා. ක්‍රිකට්‌ අතහරින්නෙ නැතිව දිගටම කරගෙන යන්න කියල මට සෙමින් පන්දු යවන හැටි කියලා දුන්නා. ඊට පස්‌සෙ සෙමින් යවන පන්දුව දවසක්‌ මාසයක්‌ යවල පුරුදු වෙන්න බැරි වුණත් මාස හයක්‌ විතර යනකොට දාන්න පුලුවන් වෙයි කියල කිව්වා.

ඇල්පිටියේ සැහැල්ලු පන්දු ක්‍රිකට්‌ සෙල්ලම් කරමින් සිටි මොහුට කොළඹ ඇවිත් පළමු පෙළ ක්‍රිකට්‌ ගහන්න වාසනාව හිමිවූයේද අහඹු ලෙසය. “එක දවසක්‌ අපේ ගමට සජිත් ප්‍රේමදාස මහත්තයා ආවා. එදා සැහැල්ලු පන්දු තරගයක මම බෝල් කරනව දැකල සජිත් මහත්තයා ඇහැව්වා ක්‌ලබ් එකක සෙල්ලම් කරන්න කැමතිද කියලා. එතකොට මම දැනගෙන හිටියෙ නැහැ ක්‌ලබ් එකක්‌ කියන්නෙ මොකක්‌ද කියලවත්. එතකොට මගේ වයස අවුරුදු 17 ක්‌ විතර ඇති. මට ක්‍රිකට්‌ ගැන ලොකු දැනීමක්‌ තිබුණෙත් නැහැ. ඒ කාලෙ මම ඒ.සී. කෝස්‌ එකක්‌ කර කර හිටියේ. එතන හිටපු අයියා කෙනෙක්‌ කිව්වා අනූෂ සමරනායක සර්ව අඳුරනව එයාට කියල මාව කොළඹට එක්‌කගෙන ආවා. ඒ 2013 කාලයේ තමයි ආවේ.”

‘කොළඹ ඇවිල්ල අනූෂ සර්ව හමුවෙලා පන්දු යවනකොට දිල්හාර ප්‍රනාන්දු අයිය මගෙන් ඇහැව්වා එස්‌.එස්‌.සී. ගහමුද කියලා. ඊට පස්‌සෙ ජෙහාන් මුබාරක්‌ අයියා එන්.සී.සී. ගහන්නත් කතා කළා. පස්‌සෙ අනූෂ සර් කිව්වා එස්‌.එස්‌.සී ගහන්න කියලා. එහෙම තමයි මම අවුරුදු තුනක්‌ එස්‌.එස්‌.සී. ක්‍රීඩා කළේ. එස්‌.එස්‌.සී. එකේ පළමු පෙළ තුන් දින තරග තුනක්‌ ක්‍රීඩා කළා. ඊට පස්‌සෙ විස්‌සයි විස්‌ස තරග දෙකක්‌ ගැහැව්වා.’

අවසන් වූ වයස අවුරුදු 23 න් පහළ පළාත් තරගාවලියේදී තරග පහකදී කඩුලු 15 ක්‌ දවා ගැනීමටද නුවන් තුෂාර සමත් විය. දැන් ඔහුගේ උත්සාහය පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් පන්දු යවමින් සිය හැකියාව තවත් මුවහත් කර ගැනීමයි.

“මම දැන් කොච්චර වේගයකින් පන්දු යවනවද කියල බැලුවෙ නැහැ. මට හිතෙනව ඉස්‌සරටත් වඩා වේගයෙන් බෝල් කරන්න පුලුවන් කියලා. අනූෂ සර් නිතරම කතා කරල මගේ අඩුපාඩු හදනවා. ඒවගේම චමින්ද වාස්‌ සර් මට කිව්වා ජාතික කණ්‌ඩායමට පන්දු යවන්න එන්න කියලා. කොහොම හරි ඊළඟ පළමු පෙළ තරගාවලියේදී හොඳින් කඩුලු දවා ගන්න තමයි දැන්ම ඉඳල ලෑස්‌ති වෙන්නෙ.”

අලුත් මාලිංග ගැන අවසන් වූ වයස අවුරුදු 23 න් පහළ තරගාවලියේදී බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ ඔහු යවන සෙමින් පන්දුව, යෝකර් පන්දුව සහ බවුන්සර් පන්දුව හේතුවෙනි. ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ගොඩක්‌ ක්‍රීඩකයන්ට පන්දු යවා ඇති බවත් දිනක්‌ එංගලන්තයේ ඇලෙක්‌ස්‌ හේල්ස්‌ට පන්දු යෑවූ ආකාරයද නුවන් තුෂාර මතක්‌ කර සිටියේය.

‘අපි එක පාරක්‌ වේග පන්දු ඇකඩමියෙ ඉන්නකොට පල්ලකැලේ ගියා ශ්‍රී ලංකා කණ්‌ඩායමට පන්දු යවන්න. එක දවසක්‌ එංගලන්තයෙ පිතිකරුවන්ට පුහුණුවීම් සඳහා පන්දු යවන්නන් අඩුවී තිබෙන අවස්‌ථාවක කැමැත්තෙන් වගේම මමයි තව යාලුවො දෙන්නෙකුයි බෝල් කරන්න ගියා. ඒ වෙලාවෙ බැට්‌ කළේ ඇලෙක්‌ස්‌ හේල්ස්‌. මගේ පළමු පන්දුවම එයාගෙ විකට්‌ එක ළඟින්ම ගියා. එයාට හිතා ගන්නත් බැරි වුණා. ඒ වෙලාවෙ ඉයන් බෙල් මගේ ළඟට ඇවිල්ලා පහක්‌ දාල ගුඩ් බෝල් කියල කිව්වා. ඇලිස්‌ටයාර් කුක්‌ මගේ වයස අහල තිබ්බා කළමනාකරුවකුගෙන්. ඒ වගේම එස්‌.එස්‌.සී එකේදි ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග තිබුණ පුහුණු තරගයකදී මම කුසල් ජනිත් පෙරේරාව අවුට්‌ කළා. ඒ තරගයේදි මම ඕවර හතරක්‌ ලකුණු 12 කට යෑව්වා. ඊට පස්‌සෙ තවම ඒ වගේ පුහුණු තරගයක ක්‍රීඩා කරල නැහැ.

තවත් වසරක්‌ දෙකක්‌ ඇතුළත ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ දිනා ගන්නට සිහින මවන නුවන් තුෂාර අවසන් වශයෙන් මෙසේ පැවසීය. “මම මුලින්ම කොළඹ ඇවිල්ලා සාමාන්‍ය සපත්තු දෙකක්‌ දාගෙන තමයි ටර්ෆ් එකේ පන්දු යෑව්වෙ. මගේ තව පොඩි දේවල් ටිකක්‌ හදා ගන්න තියෙනව කියල පුහුණුකරුවන් කිව්වා. හොඳට මහන්සි වෙලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න උත්සහ කරනවා. මාලිංග අයියත් එක්‌ක එක පැත්තකින් පන්දු යවන්න පුලුවන් වුණොත් ලොකු භාග්‍යයක්‌. දැන් ශ්‍රී ලංකා කණ්‌ඩායමට පන්දු යවන්න එන්න කියල වාස්‌ සර් කතා කරල තියෙනවා.

lankaflix

fox final 0728 mirror