භූමිය අහිමි විප්‍රවාසි මාධ්‍යකරුවා.

භූමිය අහිමි විප්‍රවාසි මාධ්‍යකරුවා.

ඒ 1990 වසර. හමා ගිය සැඩ චණ්ඩ මාරුතය නිහඬ වෙමින් තිබුණා. මහා වනස්පතීන් ඇද වැටිලා. මගේ යාළුවන් රැසක් ආගිය අතක් නෑ. මහා දැවැන්ත පාලුවක් හදවත වෙලා ගෙන හොරු අරන් ගිය සහෝදරයන් වෙනුවෙන්. සති අන්තයක හැන්දෑවේ මම ගෙදර. බිරිඳත් හිටියා. ගෙදර දොර සීනුව නාද වුනා. මම දොර විවෘත කලාම, කණ්නාඩි දැමූ, කෙට්ටු, උස තරුණයෙක් මගේ ඉදිරියේ සිටියා.

"කපිල අයිය ද? "

"ඔව්." මගේ පිළිතුර ප්‍රශ්නාර්ථයක් සහිත ස්වරයක්

" මං අයියගේ කවි කියවනවා."

"කොහොමද ගෙදර හොයා ගත්තේ...?"

" ප්‍රීති බණ්ඩාර සර්ගෙන් තැන අහගත්තේ."

අල්ලාප සල්ලාපය දිගුයි. සුන්දරයි. කවියට කලාවට පෙම් බැඳි තරුණයෙක්. මා ඉගෙන ගත් පාසලේ උසස් පෙළ හදාරන. මුල්ගම රත්නපුරේ.. කලින් ඉඳලා තියෙන්නේ බණ්ඩාරවෙල. මේ විදියට දින කිහිපයක්ම සති අන්තවල් මේ තරුණයා මාව දකින්න ආවා. අපේ බිරිඳ මේ තරුණයාට හරිම ආදරෙයි. ඔහු ලියන කවි හරිම මනරම්. "අපට වඩා දක්ෂයි." මම එහෙම හිතූ වාර අනන්තයි.

දවසක් ඔහු අපේ ගෙදර රාත්‍රිය ගත කරන්න නැවතුනා. රාත්‍රිය දිගුවුනේ මෙතෙක් ඔහු මට කියන්නට උත්සාහ කළ දිගු කතාව කියන්න මේ රාත්‍රියේ අවස්ථාව උදා වූ නිසා. එය අතිශය සංවේදී කතාවක්. කතාව කියන වරින් වර ඔහුගේ දෑස් වලට කඳුළු පිරෙනවා මම දුටුවා. කතාව දේශපාලනිකයි. තමන් දැරූ මතය වෙනුවෙන් දේශපාලනය කල මගේ පරම්පරාවට පසු පරම්පරාවේ කෙනෙක්. දඩ බල්ලන්ගේ ගොදුරක් වේවි කියා බයට දෙමව්පියන් විසින් සඟවාගෙන කන්ද උඩරටට රැගෙන ආ තරුණයෙක්. අප දෙදෙනා එකම දේශපාලන මතය දැරූවත් මට යම් යම් විවේචන තිබුනා. මේ තරුණයා තමන් දැරූ දේශපාලන මතය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණා. වරින් වර ඔහු අපේ ගෙදර නැවතුනා. සංවාද කලා . මම ඔහුගෙන් පෝෂණය වුනා. ඔහු යටිබිම් දේශපාලනය වෙනුවෙන් රහසේ වැඩකලා. මතුපිටින් කලේ කවි ලියන එක, කලාව එක්ක වැඩ කරන එක. මේ තරුණයා අපේ පුතාට බෙහෙවින් ආදරය කලා. ගෙදර එන හැම මොහොතකම පුතාට පුංචි කතන්දර පොතක් අරන් ආවා.

ඔහු නමින් රෝහිත භාෂණ අබේවර්ධන.

භාෂණ උසස් පෙළ ලියුවේ එක පාරයි. විභාගය සමත් වුනත් විශ්ව විද්‍යාල ගත වෙන්න එය ප්‍රමාණවත් වුනේ නෑ. දෙවැනි අවස්ථාව ලියන්න කිව්වත් ඔහුට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැනම තිබුණේ බරපතල විවේචනයක්. ඔහු ලියූ කවි ක්‍රමක්‍රමවෙන් පුවත් පත් වල පළවුණා. සත්තකයි, ඔහු අපට වඩා ඉදිරියෙන් සිටි කවියෙක්. පුවත් පත් කවි පිටු ඔහුගේ කවි ගිජු ලෙස ඩැහැගත්තා. මේ නිසාම සුනිල් මාධව ප්‍රේමතිලක ඔහු "ලක්දිව" පත්තරේට සම්බන්ධ කරගත්තා. ඩලස් අලහප්පෙරුම, විමලසිරි ගම්ලත්, සුදත් මහදිවුල්වැව, විනී හෙට්ටිගොඩ, ධර්ම ශ්‍රී කාරියවසම්, උදිත ගයාෂාන් ගුණසේකර, මැනුවල් ජයසේකර සමග හරි හරියට ඔහු පත්තරේ වෙනුවෙන් වැඩකරණවා. වෙහෙස මහන්සි වී කියවනවා. ක්‍රම ක්‍රමයෙන් ඔහු තුල සිටි හුරුබුහුටි කවියා වියැකෙමින් බරසාර පත්තරකාරයෙක් මතුවෙනවා.

ලෙයින්, යකඩින් මර්ධනය කල ජවිපෙ කාලෙකට පසුව නුගේගොඩ දී රැස්වීමක් පවත්වනවා. භාෂණ මේ රැස්වීම පිළිබඳව මා සමග පවසන්නේ මහත් උද්යෝගයෙන්. ඔහුගේ දෑස් බලාපොරොත්තුවෙන් දිළිසෙනවා. ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ හරහා ජවිපෙ පාර්ලිමේන්තු දේශපාලනයට එනවා. අප කිහිප දෙනෙකුට ඒ පිළිබඳව විවේචනයක් තිබුණා. අපි තර්ක කරනවා. හිත් බිඳෙන්නේ නෑ. බැඳීම් තව තවත් තිර වෙනවා. ලංකාවේ ජාතික ගැටලුව ගැන රෝහිතට තිබුණේ වෙනස් මතයක්. දෙමළාට ඇති අයිතීන් වෙනුවෙන් ඔහු කොන්දේසි විරහිතව පෙනී සිටියා. මේ විසංවාදය නිසා භාෂණ හා ජවිපෙ අතර තිබූ සම්බන්ධතාව දෙදරා යනවා. යනවා. ඔහු පක්ෂය අතැර යනවා. අපේ මුණගැසීම් සීමා වෙනවා. මම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ව්‍යාපෘතියක රැකියාවට යනවා. අමාත්‍යංශය ජවිපෙ යටතේ ක්‍රියාත්මක වුණා. විවේචනයන් සහිතව මා ඔවුන් සමග වැඩ කරණවා. එහිදී හමුවෙන එවකට ජවිපෙ ශිෂ්‍ය සංවිධානයේ සභාපති චමීර කොස්වත්ත සහෝදරයා භාෂණ වැන්නවුන් ජවිපෙ ට අහිමිවීම දකින්නේ ඛේදවාචකයක් ලෙස. "අපිට භාෂණ ලා වැනි සහෝදරවරු රැක ගන්න තිබුණා."

භාෂණ දැරූ දේශපාලන මතය නිසාම ඔහුට මරණ තර්ජන එල්ලවෙනවා. ඔහු රට හැර යනවා. ඔහු දැන් ඉන්නේ යුරෝපයේ. භූමියක් අහිමි සරණාගතයෙක් විදියට. 2011 දි භාෂණ ගේ පියා අබේවර්ධන අන්කල් මිය යනවා. නමුත් භාෂණට ලංකාවට පැමිණීම තහනම් ඔහු දරණ දේශපාලන මතවාදය නිසා. පියාගේ අවමංගල්‍යයේ පාංශකූලයට ඔහු සහභාගිවෙන්නේ සයිබර් අවකාශය හරහා. එය ඉතාම සංවේදී කාරණයක්. භාෂණව ඝාතකයන්ගෙන් බේරාගත් පියාගේ අවසන් මොහොත ඔහුටම දකින්න බැරිවීමේ වේදනාව අකුරු වලට පෙරළන්නේ කොහොමද?

භාෂණගේත් මගෙත් තියෙන්නේ දැඩි සහෝදරාත්මක බැඳීමක්. රෝහිත භාෂණ අබේවර්ධන නම්වූ රටට ආදරය කළ, මිනිසුන්ට ආදරය කල දියුණු දේශපාලන දැක්මක් ඇති මාධ්‍යකරුවා, කවියා අද අපට අහිමියි.

එහෙම වෙන්නේ ඇයි.? අපට තවමත් උත්තර සොයාගත නොහැකි වුණ දේශපාලන ප්‍රශ්ණයක් ඒ.

කපිල එම්. ගමගේ

lankaflix

fox final 0728 mirror