2018 දී තිරගත වන සිංහල චිත්‍රපටි මෙන්න

2018 දී තිරගත වන සිංහල චිත්‍රපටි මෙන්න

අලුත් අවුරුද්දේ කලා ලෝකයේ වෙන්නේ මොනාද කියලා දැනගන්න කැමැත්තනේ ඉන්න අයට නම් මේ තොරතුරු ටික වැදගත් වෙයි. මේ කියන්නේ 2018 දී තිරගත වන සිංහල චිත්‍රපටි පිළිබදවයි.

 

  1. පෝරිසාදයා

 porisadaya01

කන්‍යාවි සිනමාපටය සමඟින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි සිරිතුංග පෙරේරාගේ නවතම සිනමාපටය නම් කොට ඇත්තේ පෝරිසාදයා යනුවෙනි. ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, උදාරි වර්ණකුලසූරිය, කමල් දේශප්‍රිය පෝරිසාදයා රංගනයෙන් හැඩ කරන පිරිසයි. පෝරිසාදයා ලබන වසරේ මුලදීම සිනමාවට එක්වන චිත්‍රපටයකි.

  1. බිම්බාදේවි හෙවත් යශෝධරා

bimbadeviya

විවිධ මාතෘකා ඔස්සේ දීර්ඝ කාලයක් චිත්‍රපට නිර්මාණකරණයේ යෙදුණ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෑතකාලීනව වැඩි වශයෙන් අත තැබුවේ ඓතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපටවලට. කුස පබා, පත්තිනි, අලි කතාව යනාදී චිත්‍රපට පෙළ සැලකීමේදී එය මනාව වැටහෙනවා. ඒ නාම ලේඛනයට එකතු වූ නවතම සිනමාපටය තමයි බිම්බා දේවි හෙවත් යශෝදරා. එහි ඉන්දීය නිළි පල්ලවි සුභාෂ් යශෝධරාගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම සුප්‍රකට ඉන්දීය නළුවකු වන අර්ජිත් චෞද්‍රි සිද්ධාර්ථ චරිතය මවමින් යශෝධරා රංගනයෙන් හැඩ කරනවා. ලබන වසරේදී දැක බලා ගත හැකි මේ සොඳුරු සිනමා සිතුවම එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයක්.

  1. වස්සානේ සද

wassane sanda

උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ බොහෝ පිරිසක් නරඹන්නට ආසාවෙන් පසුවන සිනමාපටයක්. එහි කතාව සරසවිය පුවත්පතේ කොටස් වශයෙන් පළ වුණා. උදයකාන්තගේ කතා පුවතකින් සමන්විත වස්සානේ සඳ ලබන වසරේදී තිරයට පායා ඒමට සූදානමින් සිටිනවා. අන්තර්ජාලය හරහා පුවත් මවන්නියක වන පියුමි හංසමාලි වස්සානේ සඳ සිනමා සිතුවමේ ප්‍රධාන නිළියයි. ඇය සමඟ අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා ඇතුළු නළු නිළියන් රැසක් වස්සානේ සඳ රංගනයෙන් හැඩ ගන්වනවා. එම සිනමාපටය උදයකාන්ත වර්ණසූරිය සමඟ මහේෂ් බණ්ඩාර නිෂ්පාදනය කොට තිබෙනවා.

  1. ඝරසරප

garasarpa

ඝරසරප යනු ගෘහ අතරින් රිංගා යන සර්පයා. එනමින් සිනමාපටක් තැනුවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි. එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඝරසරප නිෂ්පාදනය කළේ ජනප්‍රිය සිනමාවේ ජනප්‍රිය නළුවකු වන අර්ජුන කමලනාත්. අති විශාල පිරිවැයක් දරමින් ජැක්සන්, කමල්, ශ්‍රියන්ත ඇතුළු ප්‍රධාන පෙළේ නළු නිළියන් රැසක් රඟපෑ ඝරසරප එළඹෙන වසරේදී සිනමා ශාලාවන්ට ද රිංගා ඒමට ඇති වග දැනගන්නට ලැබිණි.

  1. කුසල්

kusala01

ඝරසරප සිනමාපටය අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළත් ඔහු එහි රංගනයෙන් දායක වන්නේ නැහැ. එහෙත් ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ සිනමාපටයන් යුගලක් තිරගතවීමට සූදානමින් සිටිනවා. ඉන් පළමුවැන්න තමයි කුසල්. අර්ජුන විසින් අධ්‍යක්ෂණය කළ කුසල් ඉසුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. අර්ජුන, අමීෂා, නිරෝෂා තලගල ඇතුළු පිරිස රංගනයේ යෙදෙන කුසල් ළමා සිනමා සිතුවමක් ලෙසට හඳුන්වා දිය හැකියි.

  1. කිඩ්නැප්

kidnap

ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් අමීෂා කාවින්දි නිෂ්පාදනය කළ කිඩ්නැප් අර්ජුන ප්‍රධාන චරිතය මවනා අනෙක් සිනමාපටයයි. රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් ආදී සිනමාපටයන් තිරයට ගෙනා සුරංග ද අල්විස් තමයි කිඩ්නැප් අධ්‍යක්ෂණය කොට ඇත්තේ. අර්ජුන අමිෂා යුවළ සමඟින් මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, ධනංජය සිරිවර්ධන, බුද්ධික ජයරත්න, හර්ෂණ බෙත්මගේ කිඩ්නැප් කරන නළු නිළියෝයි.

  1. තුන්දෙනෙක්

එකම තේමාවක් භාවිත කරමින් අධක්ෂවරු තිදෙනකු තැනූ සිනමාපටයක් රස විඳීමට දෙදහස් දහඅට වසරේදී ඔබට හැකි වෙනවා. එම සිනමාපටයේ නම තුන් දෙනෙක්. සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරු තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර තිදෙනෙක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. එක චිත්‍රපටයක් තුළ කතා ත්‍රිත්වයක් අධ්‍යක්ෂවරු තිදෙනා විසින් අධ්‍යක්ෂණය කොට එක චිත්‍රපටයක් ලෙසින් මෙය ප්‍රදර්ශනය වීමට නියමිතයි. මෙහිදී ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ කතාව තුළ අශෝක හඳගම එනමින්ම රංගනයේ යෙදීම ද විශේෂත්වයක්.

  1. According to matthew

According to matthew

චන්ද්‍රන් රත්නම් ජාත්‍යන්තර සිනමා වෙළෙඳපොළ වෙනුවෙන් නිර්මාණය කළ එකෝඩිං ටු මැතිවු සිනමාපටය ලබන වසරේදී මෙරට තිරයේදී දැක බලා ගත හැකිය. සුප්‍රසිද්ධ මැතිවු පීරිස් පියතුමාගේ ජීවිත කතාව අළලා තිරයට නැඟුණු එම සිනමාපටයෙහි මැතිව් පීරිස් චරිතය නිරූපණය කරනුයේ විදෙස් නළු ඇලිස්ටන් කොව්ය. මෙරට ඉපිද අද වන විට බොලිවුඩයට නැතිවම බැරි වූ තාරකාවක වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් එකෝඩිං ටු මැතිවු සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවා.

  1. සූවිසි විවරණ

suvisiviwaranaya

වැඩි ප්‍රචාරයක් රහිතව නිර්මාණය වී ජාත්‍යන්තර සම්මාන උලෙළයන්හි සම්මානයන්ට ද පාත්‍ර වූ සිනමාපටයක් ලෙස සූවිසි විවරණ හඳුන්වා දිය හැකිය. සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ එය සාම්ප්‍රදායික ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. එම සිනමාපටයේ රඟපාමින් ජයලත් මනෝරත්නයන් නවදිල්ලි ජාත්‍යන්තර බයිස්කොප් සම්මාන උලෙලේ හොඳම නළුවා ලෙසට ද සම්මානයට පාත්‍ර විය. මලින්ද පෙරේරා, ඉන්දිකා උපමාලි සෙසු ප්‍රධාන චරිත රඟපෑ සූවිසි විවරණ ලබන වසරේ තිරගත වන වෙනමම ආරක සිනමාපටයක් ලෙස හඳුන්වාදීමට පුළුවන.

  1. නෙලා

neala

නෙලා නමින්ම ඇති නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ නෙලා සිනමාපටය බෙනට් රත්නායකගේ අධ්‍යක්ෂණයකි. උදාර රත්නායක, තාරුකා වන්නිආරච්චි නෙලා හි ප්‍රධාන නළු නිළි යුවලයි. සුන්දර දර්ශන තල කිහිපයකම රූගත කළ නෙලා ලබන වසරේදී තිරය සැරසීමට නියමිතය.

  1. එක දවසක අපි

eka dawasaka api

මෙරට නිර්මාණය වූ ප්‍රථම මොබයිල් සිනමාපටය වන්නේ එක දවසක අපි වේ. ඩයලොග් විනෝදේ ඇප් එක වෙනුවෙන් නිර්මාණය වූ එම සිනමා කෘතිය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වේ. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුත කරන එක දවසක අපි සිනමාපටය මොබයිල් ඇප් වෙනුවෙන් නිර්මාණය කළ ද එය තිරයට ගෙන ඒමට සැලසුම් කොට තිබේ . ඒ අනුව ලබන වසරේදී පුබුදු නයනතාරා ප්‍රධාන චරිත මැවූ එක දවසක අපි තිරයට සපැමිණෙනු ඇත.

  1. යමරජසිරි

yama raja siri

වසර 10කට පසු ටෙනිසන් කුරේ සමග බන්දු සමරසිංහ එකට රංගනයේ යෙදෙන යමරජසිරි සිනමාපටයද තිරයට එන්නේ ලබන වසරේදීයි. සජීව සංකල්පගේ අධ්‍යක්ෂණයක් වන එය හාස්‍යෝත්පාදක සිනමා කෘතියක් වේ. නදීශා හේමමාලි, සුරාජ් මාපා, විනු සිරිවර්ධන, ගයත්‍රි ඩයස් යමරජ සිරි රංගනයෙන් හැඩ ගන්වති.

  1. සරුංගල්

 

අනිත්‍යා හරහා සිනමා ලොව ආක්‍රමණය කළ නාලක විතානගේ ගේ නවතම සිනමාපටය වූ සරුංගල් තිරය මත මුදා හැරෙන්නේ ලබන වසරේදී. තරංග අතුරුලිය සහ ඒ. පාරිස්ටර් නිෂ්පාදනය කළ සරුංගල් චරිත රංගනයෙන් හැඩ කරන්නේ සාරංග දිසාසේකර, චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, ශාලිකා එදිරිසිංහ ඇතුළු පිරිසයි.

  1. සංගිලි

ඉතා දිගු කාලයක් චිත්‍රපට පෝලිමේ තිබූ සංගිලි සිනමාපටය එළඹෙන වසරේදී තිරගතවන බැව් වාර්තා වෙනවා. ලලිත් පන්නිපිටියගේ අධ්‍යක්ෂණයක් වන සංගිලි සිනමාපටයේ සනත් ගුණතිලක, සාරංග දිසාසේකර, දුලානි අනුරාධා ප්‍රධාන චරිත රඟපානු ලැබුවා.

sangili

 

හම්ප්‍රි විජේසූරියගේ දඬුමොනෙරෙන් එනවෝ ලබන වසරේදී එනවෝ කියලා කියන්නට පුළුවන්. බුද්ධදාස විතානආරච්චි, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිස මෙහි චරිත මවා තිබෙනවා. මේවාට අමතරව සුනිල්.ටී.ප්‍රනාන්දු නිෂ්පාදනය කළ චිත්‍රපට හතරක් තිරගතවීමට නියමිතය. ඒ මුරුග සන්නිය, තුන්පත් රෑන, ඇලකන්ඩියේ මාකස් සහ පී‍්‍රති ඇන්ඩ් ජෝයි.

මෙම චිත්‍රපට පෙළ අප ඔබ වෙත ගෙන ආවේ චිත්‍රපට මණ්ලවලින් අපට දැන් වූ පරිදිය. මෙයට අමතරව තවත් චිත්‍රපට කිහිපයක්ම තිරගතවීමට නියමිතය

මූලාශ්‍ර- දිනමිණ

lankaflix

fox final 0728 mirror