‘තමන්ගේම සිනමාපටයේ ප්‍රේක්ෂකයෙකු වීම බොහොම අසීරුයි’ – ජොආනා කුලිග්

‘තමන්ගේම සිනමාපටයේ ප්‍රේක්ෂකයෙකු වීම බොහොම අසීරුයි’ – ජොආනා කුලිග්

‘කාලය’ ජීවිතයේ හමුවීම් මෙන්ම වෙන්වීම් ද තීරණය කරනවා. කලෙකදී වෙන්වූවන් නැවත එක තැනකට ගෙන එන්නේද කාලයයි. කලක් එක්වී වරින් වර දුරස්ව සිටි පෙම්වතුන් යුවළක් නැවත සමුනොගන්නා අටියෙන් එක්වෙන්න තීරණය කරනවා.

යුද්ධයෙන් විනාශ වී පල්ලියක අල්තාරය ඉදිරියේ ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙන්නේ තමන් නැවත වෙන්නොවන පෙම්වතුන් ලෙස එක්වන බවයි. මේ පවෙල් පව්ලිකොව්ස්කිගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු Cold War සිනමාපටයයි. 2018 වසරේ ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේ පාම් ඕ දෝර් සම්මානයෙන් පිදුම් ලැබුවේ ද Cold War සිනමාපටයයි.


Cold War සිනමාපටය පුරා දිග හැරෙන්නේ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන වික්ටර් හා ඔහුට හමුවන නවක ශිල්පිනියක වන සූලාගේ ආදර අන්දරයයි. වික්ටර්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජන සංගීත ඇකඩමියේ හඬ පරීක්ෂණයට එක්වන සූලා එහි සිටි අතිදක්ෂ ශිල්පිනිය නොවූවත් කැපී පෙනෙන අන්දමේ තරුවක් වෙනවා. මේ පරීක්ෂණයට සහභාගී වු අනෙක් තරුණියන් සතුව නැති මොකක්දෝ ගුණයක් සූලා සතු වෙනවා. සූලා සැබැවින්ම ආකර්ශණීය තැනැත්තියක වුවත් තරමක සටකපට බවක් ද පෙනෙන්නට තිබෙනවා. පැතූ ලෙසින්ම වික්ටර් හා සූලා පෙම්වතුන් වුවත් දශක ගණනාවක් පුරා අනවරත අරගලයන්ට මුහුණදෙමින් දෙතැනක ජීවිතය ගෙවාදමන්නට මේ යුවළට සිද්ධවෙනවා.


සූලා හා වික්ටර්ට කිසිසේත්ම එකිනෙකාගෙන් වෙන්වී ජීවත්වීමට නොහැකි වන අතර ගතින් වෙන්ව සිටින මොහොතේදී පවා ඔවුන් සිතින් එක්තැන් වී දිවිගෙවනවා. 1950 දශකයේ පැවති සීතල යුද සමය පදනම් කරගත් Cold War සිනමාපටය පුරා දිවෙන පෙම් කතාවට පදනම් වී තිබෙන්නේ විවිධ බාධක මැද ජයගත් පවෙල්ගේ මාපියන්ගේ ආදර අන්දරයයි. ඔවුන්ගේ සැබෑ නම් වන්නේ ද සූලා හා වික්ටර්. බර්ලින් තාප්පය බිඳවැටීමට ආසන්න කාලපරිච්ඡේදය වූ 1989 වසරේදී ඔවුන් සිය ජීවිත වලින් සමුගන්නවා.


පවෙල් පව්ලිකොව්ස්කිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂ වික්ටර්ගේ චරිතයට තෝමස් කොට් පණ පොවන අතර ජොආනා කුලිග් සූලා ලෙස රංගනයෙන් දායක වෙනවා. මාසෙන් මසෙකී සංගීත අධ්‍යක්ෂණයෙන් ද පවෙල් හා ජානූස් ග්ලොවකි කතා රචනයෙන් ද Cold War සිනමාපටයට දායක වී තිබෙනවා. ලූකස් සැල්ගේ සිනමාරූපණයක් වන මෙය ටාන්යා සෙග්හෂියන් හා ඊවා පුසිනිස්කාගේ නිෂ්පාදනයක්. ජැරොස්ලෝ කමින්ස්කිගේ සංස්කරණයක් ද වන Cold War සිනමාපටය මිනිත්තු 85 ක ධාවන කාලයකින් යුක්තයි. මෙහි පළවන්නේ, ජොආනා Filmmaker වෙබ් අඩවිය වෙනුවෙන් පීටර් රිනල්ඩි සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

පුංචි ගැහැණු දැරිවියක් පෝලන්ත භාෂාවෙන් ගීත ගායනා කරන යූ ටියුබ් වීඩියෝවක් මං දුටුවා, ඒක පෝලන්තයේ පැවැත්වුණු ගායනා තරගයක් ?


දෙවියනේ, අදහන්නත් බැහැ. බොහොම ස්තුතියි.


ඇත්තටම ඒ පුංචි කෙල්ලගේ හීනය වෙලා තිබුණේ මොකක්ද ? ගායන ශිල්පිනියක් වීමද ? නැත්නම් රංගන ශිල්පිනියක් වීමද ?


ඇත්තටම, ගායන ශිල්පිනියක වීම මගේ හීනය වී තිබුණා. මං හැදී වැඩුණේ පුංචි ගමක, ඒ ගමේ ගෙවල් 44 ක විතර තිබුණු මිනිස්සු 200 ක් විතර හිටියා. මං අවුරුදු 15 ඉද්දී සහභාගී වෙන්න ලැබුණු මේ වැඩසටහන බොහොම සාර්ථකත්වයක් අත්පත් කරගත්තා.


ඒක බොහොම සුන්දර අත්දැකීමක් වුණා, මට මතකයි පුංචි කාලේ හැමතැනකදීම මං ගායනයේ යෙදුණා, පල්ලියේ දී පවා. ආගන්තුකයෝ ආපු අවස්ථා වලදී පවා. ‘ජොආනා මොකක් හරි ගායනා කරන්න‘ කියලා එක දවසක් මගේ අම්මා කිව්වා මතකයි. ඒක බොහොම ස්වභාවිකයි. සංගීතය කියන දේ ඒ කාලේ මට තදින්ම දැනුණා. අනිත් කාරණේ මගේ හීනේ වෙලා තිබ්බෙත් ඒක. හැමවිටම මගේ හීනේ වී තිබුණේ සුප්‍රසිද්ධ ගායිකාවක් වෙන්න. විට්නි හූස්ටන් – මයිකල් ජැක්සන් වැන්නන්ට මං ආදරේ කළා, ඔවුන්ගේ ගීත ගැයුවා, ඒක මට දැනුණේ මහා ලොකු දෙයක් විදියටයි. ඇත්තම කිව්වොත් මගේ පළමු හීනය වගේම මගේ ජීවිතය ඇතුළේ වුවමනා කළෙත් සංගීතය හා ගායනය පමණයි.


ඔබ රංගන ශිල්පිනියක් බවට පත්වුණේ කොහොමද ?


ඒක බොහොම කලක් ගතවුණු, බොහොම අමුතු විදියේ කටයුත්තකුත් වුණා. කලින් කීව ගායනා තරගයට අවුරුදු 15 දී සම්බන්ධ වුණා. මං හැදී වැඩුණු නගරයට වඩා ලොකු නගරයක ඉගෙනගත්තු නිසාද කොහෙද ක්‍රැකෝ වලට යන්න තීරණය කළා.


ඒක මට අපූරු අත්දැකීමක් වුණා. ක්‍රිනිටඩ් කියන පුංචි ටවුමේ මං පියානෝ වාදනය ගැන හදාරලා, ඒ ප්‍රාථමික ඉගෙනුම් කටයුතු අහවර කළා. ක්‍රැකෝ වලදී ද්විතිකව සම්භාව්‍ය සංගීතය ගැන හදාරන්න ගත්තා, බර්කැන්ටෝ – මෝසාට් වගේ අය ගැන. පුංචි කාලේදීම ඔපෙරා, නාට්‍ය වගේ දේවල් අහන්න, බලන්න අවස්ථාව ලැබුණු නිසා ඒක වෙනස්ම විදියේ අත්දැකීමක් වුණා. මේ ලෝකය ගැන තව තවත් හදාරන්න උනන්දුවක් ඇතිවුණත් ගමේ තිබුණු ජන සංගීතය අමතක කළෙත් නැහැ.


සංගීතය මා තුළම තිබුණා. පෝලන්ත සම්භාව්‍ය සංගීතය ගැන දැනුමක් තිබුණා. ගමේ හැදුණු වැඩුණු නිසාම මේ සොබාවිකත්වයට තදින් බැඳී හිටියා. ක්‍රැකෝ ටිකක් ලොකු නගරයක්, පියානෝ වාදනය හැදෑරුවා, නාට්‍ය ශාලා වලට ගියා, වාදනයේ යෙදුණා. මේ හැමදේම අහවර වුණාට පස්සේ ගටොවිට්ස්ලා වල ජෑස් විශ්වවිද්‍යාලයට යන්න වුවමනාවක් තිබුණා. 
ක්‍රැකෝ වලදී සංගීත අධ්‍යක්ෂණය, නැත්නම් සම්භාව්‍ය ගායනයේ යෙදෙන්න ඕන කියලා හිතුණා. ඒත් කිසිම කෙනෙකුට මාව වුවමනා වුණේ නැහැ. විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ගායනය මෙහිදී හොයාගත්තු දේවල් වුණා. නමුත්, ඔවුන්ට මාව ඕන වුණා. මං කවදාවත් රංගන ශිල්පිනියක් වී හිටියේ නැති නිසා මේක ටිකක් අමුතුවට දැනුණා.


විභාග අතරතුරදී මං කුමන හෝ දෙයක් කළා. කවි, පෙළ වගේ දේවල් ගැන හරිහැටි අවබෝධයක් නැතුව ගායනා කළා. ඒ ගැන ටික ටික හදාරනන් ගත්තා. රංගනය පටන්ගත්තේ මෙතැනින්. පටන්ගත්තු කාලේදී නම් ඒක අතිශය අසීරු අත්දැකීමක් වුණා. මේක මට දැනුණේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් විදියටයි. රංගන ශිල්පිනියක වීම, භාවයන් – හැඟීම් හොයාගැනීම ස්ටැනිලොව්ස්කි, චෙකොෆ් කියූ දේවල් හැදෑරීම ඒ දේවල් හැබෑවටම සිදුකළත් මේ කිසිදෙයක් ගැන විශ්වාසයක් තිබුණේ නැහැ.

 

අධ්‍යාපන කටයුතු හදාරද්දීම ජාතික නෘත්‍ය ශාලාවට යන්න ඕන, දෙයියනේ තියටර් එකට යන්න ?. මං එතෙන්ට යන්න උත්සහ කළා. මේක අතිශය වටිනා දෙයක් වුණා. රංගනයට අදාළ දේවල් ඔවුන් මට ඉගැන්වූවා. මං අලුතෙන් වතුරට බැස්ස මාළුවෙක් වගේ වුණා ඊට පස්සේ. අද වෙද්දි මේ සිනමා ක්ෂේත්‍රයට ඇවිත් වසර 10 ක් ගතවී තියෙන මේ අවස්ථාවන් බොහොම වටිනා බව දැනෙනවා. පවෙල් නිර්මාණය කළ මේ සිනමාපටයේදී මෙන් සංගීතය, ගායනය භාවිත කරද්දී ඒ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්.


ශිල්පීන් ඇතුළේ තියෙන සංගීත හැකියාව හඳුනාගෙන ඔවුන්ව මෙහෙයවන්න පවෙල් දන්නවා. පවෙල්ගේ අධ්‍යක්ෂණය යටතේ සිනමාටයකට දායක වෙනවා නම් රංගනයට වඩා සංගීතය ගැන හිතන්න වෙනවා. රිද්මය ගැන වැඩි වැඩියෙන් හිතන්න වෙනවා, විශේෂයෙන්ම, මං සංගීතය ගැන ලබාගෙන තිබුණු අධ්‍යාපනය මේ සිනමාපටයේදී මහෝපකාරී වුණා, භාෂාව ඉගෙනගත්තා. අවුරුදු 7 කට කලින් මං ප්‍රංශ භාෂාව දැනගෙන හිටියේ නැහැ. නමුත්, මේ සිනමාපටයේ ප්‍රංශ බස කතාබහ කරනවා. මේ නිසා ප්‍රංශ බස ඉගෙනගන්නත් මට සිද්ධ වුණා.


සංගීතය ගැන ලබාගෙන තිබුණු පුහුණුව නිසා මං දැනගෙන හිටියා – පියානෝ වාදනය වැනි පියවරෙන් පියවර හිමින් හිමින් දියුණුවක් අත්කරගන්න පුළුවන් වේවි කියලා. දැනටමත් දැනගෙන ඉන්න සංගීතය ගැන බොහොම දුෂ්කර පුහුණුවක් ලබාගන්න වෙනවා. ඒක බොහොම ශක්තිමත්, අනිවාර්යයෙන්ම එමගින් බොහොම අනර්ඝ ප්‍රතිඵල අත්වේවි. 
සමහර අවස්ථා වලදී පසුතලයේදී බොහොම දුෂ්කර අවස්ථාවන්ට මුහුණදෙන්න සිද්ධ වුණත් අපි ශක්තිමත්ව හිටිය යුතු බව පවෙල් හා මා දැන හිටියා, මොකද මෙහි ප්‍රතිඵලය බොහොම ස්වභාවික වනු ඇති බවත් නමුත්, අදාළ කාර්යය බොහොම දුෂ්කර බවත් දැන හිටියා.

ඔබේ ගැයූ ගීත වගේම එහිදී රංගනයේ යෙදෙන ආකාරයත් බොහොම ස්වභාවිකයි. සිනමා නිර්මාණ ශිල්පියෙකු විදියට මට තේරුම්ගන්න නොහැකි වුණා මේ සංකීර්ණ මනෝභාවයන් කැමරාව ඉදිරිපිටදී ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක. ඔබ ගායනයේ යෙදෙන්නේ බොහොම නිදහසේ වුණත් සමහර විට ඔබ මේ වෙනුවෙන් බොහෝ පුරුදු පුහුණුවීම් කරන්න ඇති. මේ ගැන කතා කළොත් ?


මේක බොහොම ස්වභාවික බව මං හිතන්න ගත්තා. මට සමහර භාවයන් දැනෙන්න ගනිද්දී ඒවා බොහොම පැහැදිලිව මගේ මුහුණෙන් පෙනුණා. අනික මං මේ චරිතය කරද්දී දැඩිව කැපවුණා. ඒක චෙකොෆ්ගේ නාට්‍ය රීතිය තුළ කරපු දෙයක් වගේ, චරිතයෙන් ප්‍රශ්න අහනවා, විශේෂ දේවල් සටහන් කරගන්නවා, අතීතය ගැන හිතනවා. නමුත්, රංගනයේ යෙදෙන්නේ නැහැ, පියවරෙන් පියවර, කරුණෙන් කරුණ ගොඩනගන්නේ මේ වචන නැත්නම් පෙළඹුම. මේ දේවල් අඛණ්ඩව පවත්වාගතයුතු බව මං දන්නවා, නමුත් ඉක්මන් වෙන්න එපා, රූපගත කිරීම් වලට සම්බන්ධ වෙලා වචන, ශක්තිය දානවා. මං බොහොම අවධානයෙන් ඉන්න ඕන බව පසුතලයේ ඉද්දී මම දැනගෙන හිටියා, පවෙල්ට ඕන දේ මොකක්ද කියලා දැනගෙන හිටියා.

චරිතය ඇතුළේ මේ මොහොතේ කළයුතු දේ මොකක්ද කියලා දැනගෙන හිටියා. වැඩිය දේවල් ගැන හිතන්න එපා. චරිතයට පිවිසෙන්න කලින් පෙර පුහුණුවීම් ගණනාවක් කළත් මේ මොහොතේදී බොහොම විවෘතව ආලෝකය, කැමරාකරණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ මොහොතේදී පවෙල් බොහොම දැහැන්ගතව බලා ඉන්නවා, පවෙල්ට ඕන මොකක්ද යන්න හඳුනාගෙන, ඔහුට සවන්දීලා මේ වෙලාවේදී මාත් අතිශය සැලකිලිමත්ව කටයුතු කළයුතු බව දන්නවා. මේක රැඳී තියෙන්නේ අධ්‍යක්ෂ සමග පවතින සම්බන්ධතාව මතයි. උත්සහ කරන්න, ඒ මොහොතට සිත යොමුකරන්න, ඊට පස්සේ රංගනයේ යෙදෙන්න. මොකද ඔහු හැමවිටම රූප රාමුව තුළ ඉන්නවා. මගේ මුහුණ දිහා බලා ඉන්නවා. මං ඒක කරන්න උත්සහ කළා.

එකම දේ 20 ක් 25 ක් වතාවක් විතර කියද්දී කිසිම වෙහෙසකින් තොරව නැවුම් අන්දමින් ඉදිරිපත් කළයුතු වෙනවා. කොහොමද එහෙම නැවුම් විදියට ඉන්නේ. කොච්චර වෙහෙසකර, දීර්ඝ ක්‍රියාදාමයක් වුණත් අපි බොහොම ස්වභාවික විදියට ඉන්නවා. 
සූලා ගේ චරිතයට පණපොවන්න අවස්ථාව හිමිවීම මට ලැබුණු සුවිශාල භාග්‍යයක් විදියට සලකනවා. සාමාන්‍යයෙන් මං මේ චරිතය ඇතුළේ දුකින් හිටියත් සතුටුවෙනවා.

පවෙල් සමස්ත සිනමාපටයම නිර්මාණය කර තිබෙන්නේ ඔබේ චරිතය කේන්ද්‍ර කරගෙනද

රූපගත කිරීම් වලට කලින් පවෙල් මට කිව්ව කතාවක් වුණේ කැමරාව නිරන්තරයෙන් ඔයත් එක්කම ගමන්කරාවි කියලා.

හ්ම්, මං හිතන්නේ මේ සිනමාපටය නරඹද්දී මට ඒ බව දැනුණා. හැබැයි ඔබ මේ මොහොතේ කියනතෙක්ම ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔබ නිව්යෝර්ක් සිනමා උළෙලේදීත් මගේ අවධානය පැහැරගත්තා. මෙය බොහොම සුවිශේෂී දර්ශනයක් බවත් ඔබ කිව්වා ?


මේ සිනමාපටය තරමක දුරකින් තියෙන බව දැනුණා. මේක සිනමාපටයක් බව මං හොඳටම දන්නවා. මං මුලින්ම මේ සිනමාපටය දකිද්දි සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු වීම බොහොම අසීරු වුණා. රූපගත කළ කොටස් කපලා කොටලා අවසානේදී එය චිත්‍රපටයක් බවට පත්වෙනවා.
ඇයි ඒ ගොල්ලෝ අර දර්ශනේ ගත්තේ නැත්තේ, ඒක කට් වුණේ ඇයි, මේ දේවල් බොහොම තාක්ෂණික දෑ. බොහොම භාවාන්විත චරිතයක් ඒක. චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කරලා අවුරුද්දකටත් වැඩි කාලයක්. මේ තරම් කාලයක් ගතවෙලා ගිහිං මං ප්‍රේක්ෂකයෝ අතරේ ඉඳගෙන ඉද්දි මගේ මුහුණේ භාවයන් බොහොම විස්තරාත්මකව දැකගන්න ලැබුණා. 
මේ මොහොතේදී මගේ මුහුණේ තිබෙන භාවයන් අපූරුවට පේන්න ගන්නවා. මගේ මුහුණ වරින්වර වෙනස් වෙන්න ගනිද්දී මට දැනුණේ මේ මගේ මුහුණ නෙමෙයිනේ කියලා. එක අතකින් බැලුවොත් මං බය වෙලා, තවත් විදියකට ගත්තොත්, වාව් මේක බොහොම ලස්සනයිනේ වගේ හැඟීමක් දැනුණා.


මේක බොහොම අපූරු කතාවක් බව මට තේරුණා. ප්‍රේක්ෂකයෝ අතරේ ඉඳගෙන ඉන්න මම ජොආනා, ඒත් මං සූලාව දකිනවා. මං හා සූලා අතර තියෙන දුරස්ථ බව මට දැනෙන්න ගත්තා. මේක බොහොම දීර්ඝ ක්‍රියාවලියක්, ඔව් ඇත්තටම සමහර වෙලාවට තමන් තමන්ගේම සිනමාපටයේ ප්‍රේක්ෂකයා බවට පත්වීම බොහොම අසීරු කාර්යයක්.


ඇත්තටම. සමහර වෙලාවට මේ මගේ භාවයන්, අභිලාෂයන් බව දැනෙද්දී. අපි යාන්ත්‍රික උපකරණයක් නෙමෙයි, හැඟීම් දැනීම් බොහොම අපූරුවට අපිට දැනෙනවා. මේ අත්දැකීම බොහොම රසවත්. අපි ඉන්න තත්ත්වය මත ඒක රැඳී පවතිනවා. මං දැන් ඉන්නවා වගේ වෙනත් රටක ඉද්දි තමන් ගැනම අනුකම්පාවක් දැනෙනවා. ඒක බොහොම අපූරු අත්දැකීමක්.

මෙය කළු, සුදු සිනමාපටයක් බව පවෙල් කලින් කිව්වද ? ඔබ මේ කතාව අහලා වික්ෂිප්ත වුණාද ?


ඔව්, අනිවාර්යයෙන්ම. මේක අතිසුවිශේෂී අත්දැකීමක් වේවි, බොහොම ලස්සන සිනමාපටයක් වේවි කියලා මං හිතුවා. අද බිහිවෙන සිනමාපට බොහෝ වර්ණ එක්තැන් වුණු නිර්මාණ විදියට දැකගන්න පුළුවන්. නමුත්, මේ සිනමාපටය ඇතුළේදී බොහොම දැහැන්ගත වෙන්න, කළු, සුදු වුණත් හිත එක තැනක තබාගන්න පුළුවන්කම තියෙනවා. සංගීතය තියෙනවා. මේ පැරණි සිනමාව වගේ දෙයක්.

ඔබ මීට කලින් ලෝරන් බකෝල් ගැන කතාබහ කළා, මේ ගැන කතාකළොත් ?


මිනිස්සුත් එක්ක ඉද්දි මට සුවිශේෂී ශක්තියක් දැනෙන්න ගන්නවා. ඒවගේම මෙය මගේ රංගන ජීවිතයටත් ශක්තියක් ගෙනදෙනවා. මං බොහොම ඉක්මනින් මිනිස්සුන්ට අනුකම්පාව දැනෙනවා. සතුට, ශෝකය මේ හැමදේම බොහොම හොඳින් හඳුනාගන්න හැකියි. මං බොහොම කඩිසර කෙනෙක්, දර්ශන තලයේදී බොහොම කලබල වුණාම පවෙල් කියන්නේ කරුණාකරලා, ලෝරන් බකෝල් ගැන හිතන්න ගන්න කියලා. ඇය හැසිරෙන විදියේ, ඇගේ මුහුණෙන් පෙන්වන ඉරියව් මේ හැමදේම දකින්න ගත්තා. මේ පෞරෂය ඇතුළේ තිබුණු අඳුරු බව හෝ මොකක්දෝ දෙයක් දැනෙන්න ගත්තා.


ඇය ගැන හිතන්න ගත්තම මගේ සිරුර බොහොම සරළ, ආකර්ශණීය ගතියක් වගේම මං නැවත ඉපදුණු බව දැනෙන්න ගත්තා. ඒක හරියට මං අහුවුණා වගේ දෙයක්. මැරිලින් මොන්රෝ හා ආතර් මිලර් ගැන මං හදාරන්න ගත්තා. මැරිලින් මොන්රෝ කියන්නේ මේ වගේ චරිතයක්. මෙවැනි සම්බන්ධතා ඇයට තිබුණා…..බොහොම බුද්ධිමත් කෙනෙකු වුණත් මැරිලින් කියන්නේ කිරිල්ලියක වගේ බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවපු කෙනෙක්, ඇය ඇය ගැනම විශ්වාස කළේ නැහැ, …සූලා ත් ….අවසානේ මේ දෙන්නම

ඔබ හා වික්ටර් තණකොළ බිස්සේ වැතිරී ඉන්නවා. මොහොතකින් ඔබ විලට පනිනවා. මේ මොහොතවල් බොහොම වේගයෙන් කැමරාවට හසුකරගෙන තියෙනවා. සිනමා නිර්මාණකරුවෙකු විදියට මේ දසුන් දකිද්දී මේ දේවල් ඔබ බොහොම සියුම්ව සිදුකරන බව දැකගන්න පුළුවන්. මේ ගැන කතා කළොත් ?


මොකද නර්තන රචනය හා මේ මොහොතවල් ක්ෂණයෙන් එහෙ මෙහෙ වෙද්දි මේ ප්‍රතිභාව අපේ ඇතුළතින් එන හඬට සවන්දීම, මේ ආදරය, හැමදේකම රිද්මයක් තියෙනවා. හැම පෙම් යුවළක්ම එක්වෙද්දි ඔවුන්ටම අනන්‍ය රිද්මයක් තියෙනවා. රංගන ශිල්පිනියක් විදියට ඕනෑවට වඩා වේගවත්ව කටයුතු නොකිරීම හොඳ දෙයක් බව මට දැනෙනවා, මුලින්ම එන්නේ සංගීතයයි.
දෙයක් වැරදුණාම තමන් වරදක් කළ බව ශිල්පීන්ට දැනෙනවා. සමහරවිට ඒක අපේ වරදක් නෙමේ. කතා තේමාව ඇතුළේ බොහොම සුනම්‍ය අන්දමින් කටයුතු කරන්නත් සිද්ධවෙනවා. රංගන ශිල්පීන් රංගනයේ යෙදෙනවට අධ්‍යක්ෂ විදියට පවෙල් කැමති නැහැ, අපිට එහෙම කරන්න වෙනවා. රිද්මය ගැන සිහියේ තබාගන්න වෙනවා. සමහර වෙලාවට අතිවිශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළත් රිද්මය අමතක වී යන්න පුළුවන්. හැඟීම් සමගින් සෙමින් හෝ වේගයෙන් රංගනය ඉදිරිපත් කරන්න ඕන.


කෙනෙක් සමග සිනමාපටයක වැඩකරද්දි මේ සිනමාපටය ස්ථානගත කරන්න බොහොම අසීරු එකක්, අධ්‍යක්ෂවරයා සුවිශේෂී බව හිතනවාද ?


හ්ම්, සිනමා අධ්‍යක්ෂවරු එකිනෙකාගෙන් වෙනස්. මං ඒ ගැන හිතද්දි දැනෙන්නේ ඒක අතිශය වෙනස් බවයි. සමහර අධ්‍යක්ෂවරු වැඩි කතාබහක් නැහැ. ඔවුන් තිර පිටපතට අතිශය බැඳී ඉන්නවා, කිසිලෙසකින්වත් එය වෙනස් කරන්න ඉඩදෙන්නේ නැහැ.


මෙවැනි අධ්‍යක්ෂවරු සමග එකට වැඩකරන්න ලැබෙන අවස්ථාව අතිසුවිශේෂී බව මං විශ්වාස කරනවා. ඔවුන්ගේ වචන තේරුම්ගන්න උත්සහ කරනවා, ඒ දේවල් හොඳින් අහගෙන, ඔවුන්ගේ පරිකල්පනය මනාව තේරුම්ගෙන කටයුතු කළයුතුයි. සවන්දීම පමණක් නෙමෙයි, ඔවුන් සමග සමීපව හිඳින්නත් උත්සහ කළයුතුයි. බොහොම විශ්වාසයෙන් යුතුව මේ සමස්ත ක්‍රියාදාමය තුළ හිඳීම අතිශය වැදගත් වෙනවා, රංගන ශිල්පීන් හා ඔවුන් අතර පවතින සම්බන්ධතාව අතිශය පහසු එකක් නොවෙයි. ලොක්කා වෙන්නේ ඔහු. අදාළ ආවේදනයන් තුළ ඉඳිද්දී ඔබේ පෞද්ගලික ජීවිතය, චරිතය, අධ්‍යක්ෂ මේ හැමදෙනා එක්කම ඉන්න ඕන. ඒවගේම ඔවුන් චරිත වලටත් සංවේදීයි. මේ මගේ දරුවා කියලයි ඔවුන් හිතන්නේ.

මෑතකදී අලුත් නිර්මාණයකට දායක වුණාද ?


මේ දවස් වල නම් සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු ගැන වැඩිපුර කටයුතු කරනවා. මං ගැබිණියක්, මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන්ගන්න යන්නේ. අලුත් පරිච්ඡේදයක් මේක. පෝලන්තයේ මේ සිනමාපටය සුවිශේෂී සාර්ථකත්වයක් අත්කරගත්තත්, ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය වගේ රටවලට සිනමා උළෙල නියෝජනය කරමින් යන්න වෙනවා.


ඒක වෙනත් ආරම්භයක් වේවි. බොහොම විනෝදයෙන් කාලේ ගතකරමින් අලුත් දේවල් ඉගෙනගනිමින් කටයුතු කරනවා. ඒකත් අලුත් අත්දැකීමක් වේවි.

අනුවර්තනය වින්ධ්‍යා ගම්ලත්

lankaflix

fox final 0728 mirror