BRANDO කළු සහ සුදු දෙකම තිබුණු මිනිසෙක් – එම්. ඩී. මහින්දපාල

BRANDO කළු සහ සුදු දෙකම තිබුණු මිනිසෙක් – එම්. ඩී. මහින්දපාල

මගේ ජීවිතය අතිශය පෞද්ගලික වූවක් බවත්, එය මටත් මගේ පවුලටත් එසේම මගේ ආදරණීයන්ටත් අයත් වූවක් මිසක් වෙනත් කිසිවකු විසින් ගවේෂණය නොකළ යුතු ප්‍රදේශයක් සේ මම සැලකුවෙමි.

සදාචාරාත්මක හා දේශපාලනික කරුණු පිළිබඳව යම් යම් අවස්ථා වලදී මගේ සිතට දැනුණු අදහස් උදහස් විවෘතව ප්‍රකාශ කිරීම හැර බොහෝ විට මා කළේ මාත් මගේ දරුවනුත් වෙනුවෙන් නිහඩව සිටීමයි. එහෙත් හැත්තෑ වැනි වියට එලඹ සිටින මම දැන් එම කතාව හැකිතාක් හොඳින් කිරීමට ඉදිරිපත් වී සිටිමි.
මාලන් බ්‍රැන්ඩෝ ස්වයං චරිතාපදානය අම්මා මට කියා දුන් ගීපිළිබඳ එහි පරිවර්තක එම්. ඩී. මහින්දපාල සමඟ කරන ලද කතා බහකි.

රොබට් ලින්ඞ්සේ ලියන ලද මාලන් බ්‍රැන්ඩෝ අම්මා මට කියා දුන් ගීපරිවර්තනය කිරීමට ඔබ පෙළඹුණේ ඇයි?

ඕනෑම කලා නිර්මාණයක්, චිත්‍රපටයක්, නව කතාවක් වේදිකා නාට්‍යයක් මා වඩාත් ආකර්ශනය කර ගත්තේ එම කෘතිවල මනුෂ්‍යත්වය හා මනුෂ්‍යාත්මභාවය පිළිබඳ යම් විවරණයක් තිබේනම් පමණයි. මේ අනුව යම් චරිතාපදානයක් කියවනවිට පවා ඒ අදාළ පුද්ගල චරිතය පිළිබඳ යම් ගවේෂණයක් කිරීමට හැකියාවක් තිබේ නම් ඒ තුළින් මට විශාල රසයක් ඇති වෙනවා. ඒ අනුවම රොබට් ලින්ඞ්සේ මාලන් බ්‍රැන්ඩෝ සමඟ කරන ලද සාකච්ඡා පදනම් කර ගනිමින් ලියන ලද මාලන් බ්‍රැන්ඩෝ ස්වයං චරිතාපදානය පරිවර්තනය කිරීමට උනන්දු වුණා. මීට පෙර ඉංග්මාර් බර්ග්මාන්ගේ “මැජික් ලන්තෑරුම” ස්වයං චරිතාපදානය පරිවර්තනය කිරීමටත් හේතු වූවේ කිසියම් ප්‍රමාණයකට මනුස්ස ස්වාභාවය පිළිබඳව ගවේෂණයක් කිරීමට එමගින් ඉඩකඩ තිබූ නිසායි.

රොබට් ලින්ඞ්සේ ලියන ලද මාලන් බ්‍රැන්ඩෝගේ කෘතිය හරි රසවත් කෘතියක්. හරියට නව කතාවක්, කෙටි කතාවක්, කියවනවා වගේ රසක් මෙම කෘතිය හරහා මට දැනුණා. මා ලද ඒ අත්දැකීම අනිත් අයත් සමඟ බෙදාහදා ගන්න මා උනන්දු වුණා. මාලන් බ්‍රැන්ඩෝගේ පොත තුළ මා දැක්ක තව විශේෂත්වයක් තිබුණා. මෙම පොත තුළ මාලන්ගේ පුද්ගලික ජීවිතයේ ඇති සුදු සහ කළු ලක්ෂණ ඉතා ක්‍රමවත්ව ගෙන හැර තිබෙනවා. ඕනෑම පුද්ගලයකුගේ හොඳ නරක තියෙනවා. එය මිනිස් ස්වාභාවයක්. හැබැයි චරිතාපදාන වල තියෙන්නේ හොඳ විතරයි. නැත්නම් පුද්ගල වර්ණනාව පමණයි. මාලන්ගේ පොතේ මේ ලක්ෂණ මා දුටුවේ නැහැ. අනික මාලන් මේ පොත ගැන රොබට් ලින්ඞ්සේට තොරතුරු කියන විට වයස අවුරුදු 70ක මිනිහෙක්. ඒ වෙනකොට ඔහුගේ චරිතය පිළිබඳ පොත් දොළහකට වැඩියෙන් ප්‍රකාශයට පත් කොට තිබුණා. හැබැයි මාලන් බ්‍රැන්ඩෝ කීවේ එම ප්‍රකාශවල තියන තොරතුරු අසත්‍ය බවයි. මාලන් බ්‍රැන්ඩෝ මෙම ස්වයං චරිතාපදානය ලියන්න මූලික වුණේ” මා පිළිබඳ කවදා හෝ දවසක මගේ දරුවන් හරි නිසියාකාර වැටහීමක් තිබිය යුතුයි. එසේම නළුවෙක් ලෙස මට ආදරය කරන ලද ප්‍රේක්ෂකයන්ට මා පිළිබඳ නිවැරදි වැටහීමක් ලබා දිය යුතුයි.” යන අදහසින්. මෙහිදී මාලන් බ්‍රැන්ඩෝ රොබට් ලින්ඞ්සේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දීම තුළින් (සම්මුඛ සාකච්ඡා ආශ්‍රිතව) සති, මාස, අවුරුදු ගණනාවක ප්‍රයත්නයක් ලෙසයි මෙම ස්වයං චරිතාපදානය බිහිවෙන්නේ. අවසානයේ දී පවා මාලන් විසින් මෙම පොතේ අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකර සංස්කරණය විය යුත්තේ කෙසේද යන්නත් තීරණය කර තිබෙනවා.

මාලන් බ්‍රැන්ඩෝගේ මෙම කෘතියේ ඔහුගේ ආදර සබඳතා පවුලේ විස්තර සිතාමතා මලහැර තිබෙනවා නේද?

මාලන් බ්‍රැන්ඩෝ මෙම සම්මුඛ සකච්ඡාව පටන් ගන්න පළමු දවසේම රොබට් ලින්ඞ්සේට කියන දෙයක් තමයි පවුලේ පෞද්ගලික තොරතුරු පිළිබඳව මගෙන් අහන්න එපා කියන එක. අනික තමයි සිනමාව පිළිබඳවත් වැඩිය කතා කරන්න එපා කියන කොන්දේසිය ඔහු රොබට් වෙත දානවා. මං හිතන ආකාරයට මාලන්ට ඒ වන විට සිනමාව ගැන කතා කරලා එපා වෙලා ඉන්න ඇති. අනික මාලන්ම කියන කතාවක් තමයි මා සිනමාවට පිවිසුනේම මුදල් හොයන්නමයි කියලා. මාලන් කියන තවත් කරුණක් වන්නේ මට චිත්‍රාගාරය අතුගාලා හෝ නියමිත මුදල ලැබෙනවා නම් මං ඒක කරන්න වුවත් මැලි නොවන බව. රොබට් ලින්ඞ්සේ පවසනවා පසු කාලීනව මාලන් බ්‍රැන්ඩෝ පවුලේ තොරතුරු පවා යම් ප්‍රමාණයකට සඳහන් කළ බව. එසේම සිනමාවෙන් තොරව මෙම පොත ලිවීමේ අපහසුව ගැන මාලන්ව දැනුවත් කළ පසු මාලන් සිනමාව පිළිබඳ අත්දැකීම් ලින්ඞ්සේට පවසා තියෙනවා.
ඔහු දැඩි ලෙස තම මවට ආදරය කර තිබෙනවා. කුඩා කාලයේදී ඔහුව බලාගත් තරුණියකට ද ඔහු අතිශයින් ආදරය කර තිබෙනවා. මාලන්ගේ මව කුඩා කාලයේදීම ඔහු හැරදා යෑමත්, ඔහුව අතිශයින්ම දුකට පත් කරන කරුණක් වුණා. මාලන් බ්‍රැන්ඩෝ මුළු ජීවිතය පුරාම ස්ත්‍රිය කෙරෙහි සැකයෙන් බැලීමට පුරුදු වුණේ ඒ නිසාම බවයි ඔහුගේ අදහස වන්නේ. මාලන් යෞවනයේදී පවා ආදරය කරන ලද කාන්තාවන් ටික කාලයකින් අමතක කරන්න පෙළඹීමට හේතු ලෙස පෙනී යන්නේ ඔහුට මෙම කාන්තාවන් ගැන තිබූ සැකයයි.නැත්නම් ඔහුට නිතර සිතෙනවා මේ කාන්තාවන් මාව දාලා යයි කියලා. එවැනි මානසික ස්වභාවයක් මාලන්ට තිබිලා තියනවා. මේ පොතේ තියනවා ඔහු දීර්ඝ කාලයක් සම්බන්ධතා පැවැත්වූ යම් යම් කාන්තාවන් ගැන කෙටි විස්තරයක්.ඒ ඇරෙන්න ඔහු කාන්තාවන් සමඟ පැවැත් වූ සියලු සබඳතා ඉතා කෙටි කාලීන බවයි පෙනී යන්නේ. ඔහු කිසි විටෙකත් ඔහුගේ විවාහක බිරියන් ගැන නම් කතා කරන්නේ නැහැ.

“අම්මා මට කියා දුන් ගී” මේ පොත මාලන් හඳුන්වා දෙන්න මූලික වෙන්නේත් අම්මාට ඔහු දක්වන ලද ආදරයයි. අනික මාලන්ට කුඩා කාලයේදී මව කියා දුන් විශාල ගීත ගණනාවක් තිබුණා. මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන දෙයක් තමයි “අම්මා මට කියා දුන් ගී” කියලයි මාලන් කියන්නේ. මාලන් සෑම විටම තම මව ගැන කතා කළත් පියා ගැන කතා කළේ ඉතා අඩුවෙන්. මාලන් හිතන්නේ තම මව ඔහුව දාලා ගියේ පියාගෙන් වූ කරදර නිසා කියලා.

මාලන් බ්‍රැන්ඩෝගේ චරිතයේ ඔබ දුටු විශේෂත්වය කුමක්ද?

ඇත්තටම ඔහු සුවිශේෂ මිනිසෙක්. ඔහු අසාමාන්‍ය චරිත ලක්ෂණ වලින් පිරි මනුස්සයෙක්. ඔහුගේ ජීවිතයම විප්ලවකාරී අදහස් වලින් ආකල්ප වලින් සන්නද්ධ වී තිබුණා. පුංචි කාලේ පටන් දඩබ්බර ගති ලක්ෂණ ඔහුගේ චරිතය වටා එකතු වුණා. කුඩා කල පටන් ඔහු සමාජය විසින් ඉවත් කරන පුද්ගලයන් කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූවා. ඒ නිසා තමයි ඇමරිකාවේ මුල් පුරවැසියන් වූ රතු ඉන්දියන්වරුන් හා කළු ජාතිකයන් වෙනුවෙන් මාලන් බ්‍රැන්ඩෝ සැම විටම පෙනී සිටියේ. ඒ වගේම දරුවන් වෙනුවෙන් හා අසාධාරණයට පත් ස්ත්‍රීන් වෙනුවෙන් ඔහු සැම විටම පෙනී සිටියා. කලක් බොලිවුඩයේ සිටි ජනප්‍රියම සිනමා තරුව ඔහුයි. ඔහුගේ යුගයේ බොලිවුඩයේ වැඩියෙන්ම රඟපෑමට අය කරන නළුවා වූයේත් ඔහුමයි.ඔහු කිසි විටෙකත් නළුවෙක් වූ නිසා ආඩම්බර වුණේ නැහැ. ඔහු නළුකම සැලකුවේ වෘත්තියක් හැටියට පමණයි. සැබෑ ජීවිතයේ ඉතා සරලව නිහඬව ඉන්න ඔහු සෑම විටම ප්‍රිය කළා. ඒ නිසාම ඔහු ඇමරිකාවේ පිහිටි දූපතක තමාගේ පවුලේ ළඟම පිරිස සමඟ ගත කිරීමට පුරුදුව සිටියා. ඔහු මිනිසුන්ගේ දුක අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නට මැලි වූණේ නැහැ. මාලන්ම කියන කතාවක් තමයි ප්‍රසිද්ධ පුද්ගලයකු වීම කරදරකාරී අත්දැකීමක් බව. ඔහුගේ ප්‍රසිද්ධ වීම සමඟ ඔහුගේ අතිශයින් පෞද්ගලික ජීවිතය නැති වූ බවයි ඔහු පවසන්නේ. ඔහු වගේ අතිශයින්ම මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ ආකර්ෂණය දිනූ පුද්ගලයකුගේ ජීවිතය අපි හිතන තරම් සුන්දර වන්නේ නැහැ. ඔවුන්ගේ ජිවීත අභ්‍යන්තරයේ ඇතැම් විට දරුණු ඛේදවාචකයන් පවා සිදු වෙච්ච තත්ත්වයන් තමයි මේ ග්‍රන්ථය කියවන විට මට දැනුණේ. ඒ ස්භාවය තමයි මේ චරිතය හරහා මට වැටහී ගියේ.

මාලන් බ්‍රැන්ඩෝ දේශපාලනය හා සදාචාරාත්මක කාරනා වලදී ඉතා නිර්භීතව පෙනී සිටි බව සඳහන් වෙනවා.

ඔහු කුඩා කාලයේ සිටම ආයතනගත ජීවිතය උදාහරණයක් හැටියට පාසල, හමුදාව, පල්ලිය, වැනි තැන්වල තියන ආයතනගත නීති රාමුව (සිස්ටම්) තනිකරම ප්‍රතික්ෂේප කර තියෙනවා. ඒවායේ තියන තවත් කෙනකු විසින් තවත් කෙනකු පාලනය කිරීම ගැන මාලන් දැඩි ලෙස විරෝධය දක්වන ලද අවස්ථා තිබුණා. මෙම පොත තුළ ඔහුගේ මෙම විරෝධාකල්ප පිළිබඳ උදාහරණ ගණනාවක් තියෙනවා. දේශපාලන අතිනුත් ඔහු වඩාත් සමීප වූයේ සමාජයේ අඩු සැලකිල්ලක් දක්වන ලද පිරිස් වෙතටයි. මාලන්ට The god father චිත්‍රපටය වෙනුවෙන් “ඔස්කාර්” ඇකඩමි සම්මාන උළෙලේ හිමි වූ හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගැනීමට ස්වදේශීය රතු ඉන්දියානු කාන්තාවක් වන සචින් ලිට්ල් ෆෙදර් (Sacheen Little Feather) පෙනී සිටීම ලෝකය පුරා දැඩි කතාබහක් ඇති කළා. ස්වදේශීය රතු ඉන්දියානුවන්ට වන අසාධාරණය වෙනුවෙන් ලෝකයේම අවධානය දිනා ගැනීමට මෙය අවස්ථාවක් ලෙස මාලන් බ්‍රැන්ඩෝ භාවිත කළා. මාලන් විශ්වාස කළා ස්වදේශීය රතු ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය නොවැලැක්විය හැකි බව.

“ගංගා ගලන තුරා, හිරු නැගෙන තුරු තුරුලතා හතර අත දිස්වන තුරු මෙකී භූමිය සදාකාලිකවම නුඹලාගේම වෙයි. ඔබගේ පූර්ණ අනුමැතියකින් තොරව එය විකිණීමට හෝ අන්සතු කිරීමට හෝ කිසිවකුට හැකියාවක් නැත.” ස්වදේශික රතු ඉන්දියානුවන් වෙනුවෙන් නීතිගත කළ දේ සියල්ල උසාවි නියෝග අනුව බිඳ දමනු ලැබීම ගැන මාලන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා. ආරම්භයේ සිටම හොලිවුඩය විසින් රතු ඉන්දියානුවන්ට අපහාස කිරීම ගැන මාලන් දැඩි ලෙස විරෝධය දැක්වූවා.

20වන සියවසේ ඇමරිකානු ඉතිහාසයේ වඩාත් අඳුරු පරිච්ඡේදයක් සනිටුහක් කළ වියට්නාම යුද්ධය පිළිබඳ මාලන් ඇමරිකානු යුද මානසිකත්වය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. එමෙන්ම ලෝකයේ කොහේ හෝ ජීවත් වන පීඩාවට පත් අසරණ කාන්තාවන් වෙනුවෙන් කාන්තා විමුක්තිය වෙනුවෙන්ද මාලන් බ්‍රැන්ඩෝ ප්‍රසිද්ධියේ සටන් කිරීමට මැලි වූයේ නැත. මාලන් බ්‍රැන්ඩෝ ඔහුගේ අසීමිත ප්‍රසිද්ධිය භාවිත කරනු ලැබුවා පෝකයේ නන්විධ අසාධාරණයන්ට පක් වී සිටින අසරණ මිනිස්සු වෙනුවෙන් හඬ නඟන්න.

මාලන් කළු ජාතිකයන් ගැන පවසන්නේ “අප්‍රිකාවේ සිට වහල්ලු හැටියට ගෙනල්ලා දශක ගණනාවක් සුදු ජාතිකයන්ගේ වහල්ලු ලෙස වැඩ කරලා.මෙතරම් ඉවසීමක් කොහොමද ඒ කළු මිනිස්සුන්ට තිබුණේ මේ වධ හිංසා දරාගෙන ඉන්න” කියායි. කළු ජාතිකයන්ට ලැබුණු නිදහස පරිපූර්ණ නිදහසක් නොවන බව මාලන් බ්‍රැන්ඩෝ සෑම විටම ප්‍රකාශ කළා. ඇමරිකානු කළු ජාතික නායක මාර්ටින් ලූතර් කිං ගේ නිදහස් විමුක්ති අරගලයට මාලන් බ්‍රැන්ඩෝ ඍජුවම තම දායකත්වය සැපයුවා. ඇමරිකානු සුද්දන්ගේ තාඩන පීඩන මැද කළු ජාතිකයින් දක්වන ලද ඉවසීම විශ්මය ජනක බවයි මාලන්ගේ අදහස වූවේ. කළු ජාතිකයන් සංවිධානය කරන ලද දැවැන්ත විමුක්ති අරගල, රැස්වීම්වලට මාලන්ගේ සම්බන්ධ වීම ඇමරිකානු කළු ජාතිකයන්ගේද දැඩි කතාබහට ලක් වී තිබුණා.කෙසේ හෝ මාලන් බ්‍රැන්ඩෝ කළු ජාතිකයන්ගේද සුදු ජාතිකයන්ගේ ද ගෞරවය, ආදරය නොඅඩුව දිනා ගත් චරිතයක් ලෙස ඇමරිකාව පමණක් නොව ලෝක වාසීන්ගේ ද අවධානයට ලක් වුණා.


එන්. ලංකා මාගම්මන

lankaflix

fox final 0728 mirror