එංගලන්තේ වළලන්න ඕනෑ මළ මිනී මෙහෙ වලළලා... මළ වදේ...

එංගලන්තේ වළලන්න ඕනෑ මළ මිනී මෙහෙ වලළලා... මළ වදේ...

සාජන්ට් නල්ලතම්බි දුවන කාලයේ උසස් නාට්‍යයක් ලෙස සැලකුණේ නැත. සාජන්ට් නල්ලතම්බි ලෙසින් රඟන නිහාල් සිල්වාගේ රංගනය විශිෂ්ට රංගනයක් ලෙස සැලකුණේ ද නැත. එපමණක් නොව එම නාට්‍යයේ සර් ෆෙඩ්රික්ක් ලෙසින් රඟපෑ මහේන්ද්‍ර පෙරේරාගේ හෝ සාජන්ට් ඥානපාල ලෙසින් රඟපෑ පාලිත සිල්වාගේ රංගනය ද විශිෂ්ට රංගනයක් ලෙස සැලකුණේ නැත. සැබවින්ම එය ඒ කාලයේ නැරඹූ මට ද එය විශිෂ්ට නාට්‍යයක් ලෙස පෙනුණේ නැත.

කෙසේවුවත් නාට්‍ය පිළිබඳ සාකච්ඡාවක දී වරක් සුගතපාල ද සිල්වා මහතා කීවේ සාජන්ට් නල්ලතම්බි හොඳ පිටපතක් බවත් කෙසේ හෝ නාට්‍යයේ දී පිටපත පරයා නිහාල් සිල්වා මතුවීම නිසා පිටපත මතුවීම වැළකී ඇති බවත්ය. ඒ කාලයේ දී උසස් යැයි සැලකුණු නාට්‍යකරුවන් වෙතින් සාජන්ට් නල්ලතම්බි පිළිබඳව මට අසන්නට ලැබුණු එකම හොඳ එය පමණක් විය.

ප්‍රේක්ෂකයන්ගෙන් සාජන්ට් නල්ලතම්බිට කොතරම් ඉහළ ප්‍රතිචාර ලැබුණ ද විද්වත් විචාරකයන් හා බොහෝ පුවත්පත් විචාර වෙතින් කියැවුණේ සාජන්ට් නල්ලතම්බි නාට්‍ය රැල්ල නිසා උසස් නාට්‍ය කලාව යටපත් වී ඇති බවය. කෙසේ වුව ද මට මෑතක දී වසන්ත විට්ටච්චි මහතා වෙතින් අසන්නට ලැබුණේ කවුරුන් හෙළාදැක්ක ද දයානන්ද ගුණවර්ධන මහතා නම් සාජන්ට් නල්ලතම්බි හෙළාදැකීමට එක් නොවූ බවය. වසන්ත විට්ටච්චි මහතා පැවසූ ආකාරයට මට හැඟුණේ සාජන්ට් නල්ලතම්බි උපහාස රසයෙන් පිරුණු හොඳ නාට්‍යයක් වශයෙන් දයානන්ද ගුණවර්ධනයන් විසින් සලකන ලද බවය.

ඒ කෙසේ වෙතත් මා ද එකල සිටියේ සාජන්ට් නල්ලතම්බි විරෝධී ජනප්‍රිය විචාරක මතවාදයේය. ප්‍රේක්්ෂකයා අතර සාජන්ට් නල්ලතම්බි ජනප්‍රිය වූ තරමට ම විචාරකයන් හා බොහෝ නාට්‍යකරුවන් අතර නල්ලතම්බි විරෝධය ජනප්‍රිය විය. කෙසේවුවත් හදිසියේ මට මෙයට මාස හයකට පමණ පෙර යූටියුබ් එකට එක්කර තිබූ සාජන්ට් නල්ලතම්බි නාට්‍යයේ සම්පූර්ණ වීඩියෝ පටයක් නරඹන්නට ලැබිණි. මම ඉන් වශී වූයෙමි. උසස් පෙළ පංතියේ සිටි මට කෙසේ වුව ද දැන් සිටින මට නම් සාජන්ට් නල්ලතම්බි අග්‍රගණ්‍ය නාට්‍යයකි. (මා නල්ලතම්බි වේදිකාවේ නරඹන විට මම උසස්පෙළ සිසුවකු වීමි.)

සාජන්ට් නල්ලතම්බි නාට්‍යය දුවන්නේ මිනී කනත්තකය. නාට්‍ය රචකයා විසින් මුළු නාට්‍යයම මිනී කනත්තකට ගෙන ගොස් ඇත්තේ නිකම් නොවේ. අපේ රට ම මිනී කනත්තක් වී ඇති බව නාට්‍ය රචකයාගේ අදහස වී ඇති බව පැහැදිලිය.

අප රඟන්නේ ද නටන්නේ ද එය මතය. අප රැඟුව ද නැටුව ද පුරසාරම් දෙඩුව ද අප සැබවින් ම මිනී වෙමු. ප්‍රාණයක් හරයක් ගැම්මක් අරමුණක් අධ්‍යාත්මයක් අධිෂ්ඨානයක් ශික්ෂණයක් නොමැති මිනී වෙමු. මේ නල්ලතම්බි නාට්‍යයේ අධ්‍යාත්මයයි. හොඳ හාස්‍ය නාට්‍යයක අප සිනාසෙන්නේ අපට ම බව කියැවේ. විචාරකයා කෙසේ වුව ද අහිංසක ප්‍රේක්ෂකයා තමාට ම සිනාසීමට කැමැතිය. ඒ නිසා ඔවුහු නල්ලතම්බි කෙරෙහි ආකර්ෂණය වූහ.

එහෙත් විචාරකයා කැමති තමන්ට සිනාසීමට නොව අනුන්ට සිනාසීමටය. ඒ නිසා ඔවුහු නල්ලතම්බිට විරුද්ධ වූහ. තමන් මෙන් ම අනුන්ට සිනාසෙන නාට්‍ය ඔසවා තැබූහ. මුළු මහත් නාට්‍යයම මිනී කනත්තකට ගෙන ගියේ අපේ රටට සිදුවී ඇති විපත දැක කම්පා වූ හදින් යුතු නාට්‍ය රචකයෙකි.

එහෙත් ඒ නාට්‍ය රචකයා තුළ සමාජය ගැන වූ සංවේ දී භාවය විචාරක පර්ෂද වෙතින් නල්ලතම්බි නාට්‍යය වෙත නොලැබුණේ යැයි සිතමි.

නල්ලතම්බි නාට්‍යයේ දී සිදුවන්නේ සාජන්ට් නල්ලතම්බි හා ඥානපාල යන පොලිස් නිලධාරීන් දෙදෙනා කනත්ත මුරකිරීමට යොදවනු ලැබීමය. ‘යටත් විජිත හොල්මන් වන’ සර් ෆෙඩ්රික්ගේ සොහොන හා අවතාර ඇත්තේ ද එහිය.

සර් ෆෙඩ්රික්ට රඟපාන්නේ මහේන්ද්‍ර පෙරේරාය. ජෝර්ජ්ගේ සොහොන හා අවතාරය ඇත්තේ ද එහිය. ජෝර්ජ්ට රඟපාන්නේ රංගන ‍ෙප්‍ර්මරත්නය. ඒ මිනී කනත්තට අලූතින්ම එක් වන්නේ මැරවර බයිසාය.

බයිසාගේ චරිතය රඟපාන්නේ ආනන්ද වික්‍රමගේය. මැරී මිනී කනත්තට එන බයිසා කරන්නේ සර් ෆෙඩ්රික්ගේ කබායත් කලිසමත් ගලවාගෙන ඔහුගේ දුම් බොන පයිප්පයත් උදුරා ගැනීමය. සර් ෆෙඩ්රික්ගේ අවතාරය එන්නේ කොට කලිසම පිටිනි. බයිසාගේ අවතාරය පදක්කම් සහිත කෝට් එකත් ඇඳගෙන පයිප්පයත් උරමින් එයි. මුළු මිනී කනත්තම පවතින්නේ ඔහුගේ අණසක යටතේය.

පණපිටින් කනත්තට එන සාජන්ට් නල්ලතම්බි සහ සාජන්ට් ඥානපාල බයිසාගේ අවතාරය විසින් මිනී කට්ටකින් පහර දී මළවුන්ගේ ලොවට ඇදගනු ලබයි. පණ පිටින් එන සාජන්ට් වරුන් ද මිනී කනත්තේ අවතාර බවට පත් වේ. එමගින් මිනී කනත්තේ අභ්‍යන්තර තුළට තවදුරටත් පිවිසීමට ප්‍රේක්ෂකයාට අවසර ලැබේ.

සාජන්ට් නල්ලතම්බි නාට්‍යය එදාටත් වඩා අදට අදාළය. අද රටේ බොහෝ ක්ෂේත්‍රවල ආධිපත්‍යය දරා සිටින්නේ මදාවියන් යැයි කිව හැකිය. ටීවී තිරය දෙස බැලීමෙන් වුවත් මෙය පැහැදිලිව දැක ගත හැකිය. එදා සිටි ෙප්‍ර්මකීර්තිලා වෙනුවට අද ටීවී තිරය තුළ වුව ද රජ කරන්නේ මදාවි කතා ඇති මදාවි පෙනුම ඇති මදාවි දැනුමක් ඇති අයය. වෙනස ඔවුන් බයිසා මෙන් සර් ෆෙඩ්රික්ලාගේ කෝට් ඇඳ සිටීම පමණි. සැබවින්ම මේ අවුරුදු තිහකට පමණ පෙර පටිගත ව ඇති සාජන්ට් නල්ලතම්බි යූටියුබ් පිටපත වුව ද අද පවතින බොහෝ නාට්‍යවලට වඩා අදට අදාළය. ප්‍රාදේශීය සභා හා පළාත් සභාවල මැති පුටු හොබවාගෙන සිටින අයගෙන් වැඩි පිරිසක් තැන්පත් මැදහත් ගුණවත් පුද්ගලයන් නොවේ. සර් ෆෙඩ්රික්ලා හෝ ජෝර්ජ්ලා ද නොවේ. බයිසලාය. මුදල් හදල් ඇත්තේ ද අණක් ගුණක් නැති දාමරිකයන්ට ම විනා සත්ගුණවත් ව්‍යාපාරිකයන්ට නොවේ. සැබවින් ම යටත් විජිත පාලකයන් විසින් සර් ෆෙඩ්රික්ලාට පදවි පදක්කම් දුන්නේ සර් ෆෙඩ්රික්ලා රජ කරවන්නට නොව බයිසලාගේ යුගය ගෙනෙන්නට යැයි මට සිතුණේ යූටියුබ් එකෙන් සාජන්ට් නල්ලතම්බි නරඹද්දීය.

මදයක් හරයක් නැති බොල් සෝබන උසස් පැළැන්තියක් යටත් විජිත පාලකයන් විසින් රට තුළ පෝෂණය කරන ලදී. ඔවුන්ට අතීතයක් තිබුණේ ද නැත. අනාගතයක් ගැන හිතුවේ ද නැත. සුද්දාගේ කෝට් කබා හා පදක්කම් තාන්න මාන්න තුළ ජීවිතයේ සියලු අර්ථය දුටුවහ. දැක්මක් නැති එවන් පැළැන්තියක් රට මෙහෙයවන පැළැන්තිය බවට පත් කළේ සුද්දන්ගේ දැක්ම මේ රටේ ක්‍රියාත්මක කරවන්නටය. සුද්දාගේ මෙහෙවර කැප්පෙටිපොළලා මැරීම පමණක් නොව අවසාන වශයෙන් බයිසලා රජ කරවීම ද වේ. අණක් ගුණක් ධර්මයක් නැති බයිසලා රජකරවීම ද වේ. මේ සාජන්ට් නල්ලතම්බි කතා වස්තුවයි.

සැබවින්ම සාජන්ට් නල්ලතම්බි යූටියුබ් පිටපත නැරඹීමට පෙර මා දුටුවේ කෝට් පදක්කම් පැළැන්තියේ සෝබන පිළිවෙත පමණි. එහි මෝඩකමක් නොඑසේ නම් අහිංසක මෝඩකමක් විනා එයට එහා වෙනත් අනතුරක් නොදැක්කෙමු. එහෙත් බයිසලාට පාර කැපුණේ හා පාර කපන්නේ ඔවුන් හරහා බව මට අනාවරණය වූයේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය තුළිනි. ඒ අතින් මේ නාට්‍යය අපේ නාට්‍ය විචාරකයන්ට නොතේරීම පුදුමයක් ද නොවේ. අපේ රටේ අහිංසක ප්‍රේක්ෂකයාට තේරීම ද පුදුමයක් නොවේ. කෙසේවුවද සාජන්ට් නල්ලතම්බි මේ කතාව සමාජ කතිකාවතක් ලෙසින් මතු වී ආවේ නැත. එයට හේතුව සමහර විට නාට්‍යය තුළ සේ ම නාට්‍යයෙන් පිටත ද බයිසලා ප්‍රබල වීම විය හැකිය.

අපේ රටට සුද්දන් කර ඇති හරිය සාජන්ට් නල්ලතම්බි තරම් හොඳින් වෙනත් කිසිදු නාට්‍යයකින් අනාවරණය වී ඇතැයි නොසිතමි. මේ තත්ත්වය කරා රට ආවේ එකවර නොවේ. යටත් විජිත වාදීන් විසින් පෝෂණය කරන ලද මුල් සිඳගත් සෝබන පැළැන්තිය මේ රට තුළ හරයක් මදයක් ඇති නැණවත් පරපුරක් බිහිකිරීමට කටයුතු කළේ නැත. ඔවුන්ට ඒ සඳහා ශක්තියක් හෝ දැක්මක් තිබුණේ ද නැත. ඒ වෙනුවට ඔවුන් සෙවනේ බිහිවූයේ මදාවි පෙළැන්තියකි. හරි නිෂ්පාදන ආර්ථිිකයක් නැති රටක ආර්ථරික බලය යන්නේ ද සත්ගුණවත් කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට නොව ජාවාරම්කරුවන්ටය. සර් ජෝර්ජ්ලාගේ කිරුළ හිමිවූයේ ඔවුන්ටය. (සර් ජෝර්ජ්ලා ද නිෂ්පාදන කර්මාන්ත කරුවෝ නොව හුදු තැරැව්කරුවෝ පමණක් විය. (මේ බයිසලාගේ මදාවි පරම්පරාව විසින් අවසානයේ අර සෝබන පැළැන්තියේ ඇඳුම් ආයිත්තම් ද ගලවා ගන්නා ලදී. එහෙත් එම සෝබන පැළැන්තිය ළඟ මතුපිටින් තිබුණු සදාචාරයවත් මේ මදාවි පැළැන්තියේ නැත. ඔවුහු අභ්‍යන්තරයෙන් මෙන් ම බාහිරින් ද මහත්වරුන් නොවෙත්. සාජන්ට් නල්ලතම්බි නාට්‍යයට වස්තු විෂය වන්නේ මේ නස්පැත්තියයි.

එයට තවත් දෙයක් එක් කරන්නේ නම් අද සිටින බොහෝ මහත්වරුන්ට ද තමන්ගේ පැවැත්ම උදෙසා ස්වකීය ජීවිතයට මදාවි ගතිගුණ මඳක් එක්කරගැනීමට සිදුව තිබේ. එනම් මහත්වරුන් වෙතින් පවා එකවරම මදාවි ගුණ මතු වේ. මෙය අප දෛනිකව අනපේක්ෂිතව අත්විඳින අත්දැකීමකි. එහෙත් මේ සිදුවන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් එළිය ලැබුණේ සාජන්ට් නල්ලතම්බි නාට්‍යය වෙතිනි.

මේ මිනී කනත්තට පොලිසියත් ඈඳා ගන්නේ නිකම් නොවේ. සුදු පාලකයන් උත්සාහ කළේ මේ රටේ සදාචාරයත් සංස්කෘතියත් ගුණධර්මත් ප්‍රධාන වශයෙන් පොලිසිය මගින් ආරක්ෂා කිරීමට යැයි කිව හැකිය. නොඑසේ නම් ඔවුන්ට අවශ්‍ය වූයේ පොලිස් සදාචාරයකි. අභ්‍යන්තරයෙන් එන සදාචාරයක් නොවේ.

සැබවින්ම අභ්‍යන්තරයෙන් එන සදාචාරයකට සුදු පාලකයන් කැමති වූයේ ද නැත. එය ඔවුන්ගේ සදාචාරය සමඟ ගැටෙන්නකි. එහෙත් අභ්‍යන්තරයෙන් එන සදාචාරයක් නැති තැනක චාරයක් හෝ සදාචාරයක් පවත්වාගැනීම ද අපහසුය. අපේ රටේ පොලීසිය මුහුණ දී ඇති අර්බුදය එයයි. එය සුදු පාලකයන්ගෙන් උරුමවූ කරුමයකි. එනම් අභ්‍යන්තරයෙන් සදාචාරයක් නැති රටක බාහිරින් සදාචාරයක් පවත්වා ගැනීමයි. මේ සියල්ල මා විසින් නගනු ලබන ප්‍රශ්න නොවේ. සාජන්ට් නල්ලතම්බි නාට්‍යය මගින් නගනු ලබන ප්‍රශ්න වේ. අභ්‍යන්තරයෙන් සදාචාරයක් නැති රටක බාහිරින් සදාචාරය රකින්නට යන පොලිස් නිලධාරියා විහිළුකාරයකු බවට පත්වේ. සාජන්ට් නල්ලතම්බි නාට්‍යය තුළ මේ ඛේදවාචකය ද අන්තර්ගත වේ.

සාජන්ට් නල්ලතම්බි මෙවන් බරක් කැටිකරගත්ත ද මුල සිට අග දක්වා සිනා රසයෙන් පිරුණු නාට්‍යයකි. මෙහි නිහාල් සිල්වාගේ මෙන් ම පාලිත සිල්වාගේ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන ප්‍රේමරත්නගේ හා ආනන්ද වික්‍රමගේ ද රඟපෑම් අග්‍රගණ්‍යය. එහි එන දෙබස් රසයෙන් අනූනය. මේ ඒ අතරින් එකකි.

නල්ලතම්බි - ඥානපාල මෝහිනී ඇවිල්ලා කියයි අනේ මේ ළමයා වඩා ගන්න කියලා. වඩාගන්න එපා.

ඥානපාල - වඩාගන්නේ නෑ

නල්ලතම්බි - මෝහිනී වඩාගන්නත් එපා

උදයසිරි  වික්‍රමරත්න

lankaflix

fox final 0728 mirror