නුවරකලාවියේ ජනවහර රටට හෙළි කළ  මරදන්කල්ලේ බයියා - රංබණ්ඩා සෙනෙවිරත්න

නුවරකලාවියේ ජනවහර රටට හෙළි කළ  මරදන්කල්ලේ බයියා - රංබණ්ඩා සෙනෙවිරත්න

ගේයපද රචක අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් අභාවයට පත්වී වසර 15 යි. සිංහල ගීත ක්‍ෂේත්‍රයට ගේය පද රචනා විශාල ප්‍රමාණයක්‌ දායාද නොකළත් තමන් විසින් රචිත ගීත රචනා කිහිපයෙන් සිංහල ගීත සාහිත්‍යය ඉහළට ඔසවා තැබුමට ඇවැසි ශක්‌තිය සැපයූ අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් අපගෙන් සමුගත්තේ මින් වසර 15 කට පෙර 2001 දෙසැම්බර් මස 05 වැනි දායි.

මළ බෙර හඬ පසුබිම් කොට ගෙන විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියා විසින් ගයන "පබළු නඟේ නාමල් තිලකේ" ගීතය ඔබ අසා ඇතිවාට සැක නැත. නමුත් එම ගීතයේ පද රචනය කෙරෙහි ඔබේ අවධානය යොමු වුණා දැයි මම නොදනිමි.

පබළු නඟේ නාමල් තිලකේ

පුංචි ඔසරි මැණිකේ - සුමනෝ.........ඇයි නුඹ නැත්තේ

වැවේ දියේ ඇති නිකිණ්‌න නිල්ලේ

අඩ හඳ යායට කෙකටිය පිපිලා

වෑ කන්දේ බෝ ගස්‌ සෙවනේ

මම අද තනියම ඔළිඳ ගණිනවා

වෙනදා වාගෙම තල මල පිපිලා - තිබුණත් ඇළ ළඟ වත්තේ

සුමනෝ ඇයි නුඹ නැත්තේ

මළ හිරු එළියෙන් කොක්‌කු ගියාදොa

මිහින්තලා ගල පැත්තේ

පිරුවට ඇඳ පෙට්‌ටියක තියාලා - පහන් දෙකක එළි මැද්දේ

මදටිය වැටෙද්දි හඳ කැළතෙන ඇළ

ඒදණ්‌ඩේ ඉස්‌මත්තේ

සුමනෝ ඇයි නුඹ නැත්තේ

මෙම විශිෂ්ට ගීතයේ ගේය පද රචනාව අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන්ගේය. මෙහි අන්තර්ගත වන්නේ තරුණ ගැහැනු දරුවෙකුගේ අකාල මරණයයි. ගුණදාස කපුගේ විසින් ගායනා කරන මෙම ගීතයේ සංගීතය වශයෙන් යොදාගෙන ඇත්තේ ඈතින් සෙමෙන් ඇසෙන මළ බෙරහඬ හා තම්මැට්‌ටම් නාදයයි.

ඔහුගේ ගීතවල අඩංගු වන බොහෝ වචන හා යෙදුම් නුවරකලාවියේ බස්‌ වහර ආත්ම කොටගෙන තිබේ. විශේෂයෙන් මෙම ගීතයේ සඳහන් වන නිකිණ්‌න නිල්ල" යන වචනය අප රටෙහි වෙනත් කිසිදු ප්‍රාදේශීය බස්‌ වහරක දකින්නට නොලැබෙන වචනයකි. නිකිණ්‌න නිල්ල යනු වැවෙහි දිය නිකිණි මාසයේ දී වියළී යන විට වියළි යන වැවේ පිටියේ ජලය හිඳීගිය තැන්වල මතුවන නිල්වන් ලා තණ ගොබයි. මෙම නිල්ල මතුවන්නේ තෙතමනය තාවකාලිකව ඇති නිසාය. නමුත් ඒ නිල්ල වැඩි කලක්‌ පවතින්නේ නැත. ග්‍රීෂ්මය විසින් එම නිල්ල දවා හළු කරයි. විනාශය වියෝගය සනිටුහන් කරන්නට යොදාගෙන හැකි එවන් වෙනත් රූපකාර්ථයක්‌ තවත් ඇත්ද?

ඔහු විසින් රචිත ගී පද රචනා කිහිපය වුවද සිංහල ගීත සාහිත්‍යයේ හැරවුම් ලCෂ්‍යයකි. අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් උපත ලද්දේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මිහින්තලේ මරදන්කල්ල නමැති හද්දා පිරිසර ගම්මානයේයි. වන්නිහාමි නමැති ආයුර්වේද වෙදමහතෙකු මෙන්ම ගුරුවරයෙකු වූ සිය පියා මහත් වැර වෑයමින් තම දරුවන් පෝෂණය කරන්නට විඳින අපමණ දුක්‌ සමුදාය හෙතෙම ජීවත්වීමෙන්ම වටහා ගත්තේය. නුවරකලාවියේ අව්ව, වැස්‌ස හා හුළඟ යන ස්‌වාභාවික සංසිද්ධීන් ගෙන් නිතර බැට කන ගැමියා විසින් පෙළෙන කටුක බව ඔහුගේ ගීතයේ ආත්මය විය. එම ගීතවලින් නැඟෙන්නේ එකී වේදනාවේ රිද්මයයි.

හද්දා පිටිසර වන්නියේ උපන් තමන් මිහින්තලේ අමුම අමු බයියෙක්‌ බව කියන්නට රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් කුමන අවස්‌ථාවකදී වත් මැළි වූයේ නැත. බයියා යන වචනයෙන් කියෑවෙන පිටිසර ගැමියා යන පර්යාය පදයට ඔහු මහත් ඇලුම් කළේය. ගේය පද රචනයේ දී පැරැණි සාහිත්‍යයේ ගැඹුරු අරුත් සහිත පද සොය සොයා රසවිඳින්නට සහෘදයන්ට සිදුවන කල රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් සිය ගීත කිහිපයට කිසි කලෙක අසීරුවෙන් සොයා රසය විඳිය යුතු පද එක්‌ කළේ නැත. ඒ වෙනුවට තමන් දන්න දකින දේ මෙන්ම අසන දේ හා ඇසෙන දේ නිර්මාණවලට එක්‌ කිරීමට හෙතෙම උත්සාහ කළේය. ඔහුගේ ගීතවල ඇති අපූර්වත්වයද එයයි.

අප හැමෝම දන්නා මෙතෙක්‌ අප රටේ බිහිව තිබෙන විශිෂ්ටම මවු ගුණ ගීතය ලෙස අවිවාදයෙන් පිළිගන්නා "දවසක්‌ පැල නැති හේනේ" ගීතයේ පදරචනය ද අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන්ගේය. මෑත කාලය තුළ වැඩිම දෙනෙකුගේ වන්දනාත්මක විවේචනයට ලක්‌ වූ ගීතය වන එම ගීතයේ එන ඡේද තුනෙහිම ඇතුළත් වන්නේ වැහි තුනක්‌ ගැනයි.

පළමුවන ඡේදයේ එන්නේ අකාල මහ වැසි වැස්‌සා" යන්න වන අතර දෙවැනි ඡේදයේ එන්නේ "නින්දා වැහි වැගිරුණදා" යන්නයි තෙවැනි ඡේදයේ එන්නේ කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ හඬලමින් තවත් මහවැස්‌සක්‌ වසින්නට අරඅඳින බවයි. මෙම වැහි තුනෙන් අදහස්‌ කරන්නේ විපතක්‌, කරදර ආපදා බාධා පිරිපතවල, පෙරනිමිත්තක්‌ බවයි. එමෙන්ම රජරට ජනතාව නියඟයකින් පසු වැස්‌ස වශයෙන් සලකන වැහි තුන මෙම ගීතයේ රූපකාර්ථයක්‌ බවට පත් කර ගැනීමට අධිනීතිඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් උත්සුක වූ බව පෙනේ.

දවසක්‌ පැල නැති හේනේ ගීතයේ ඇතුළත් වන වචන සමුදාය නුවරකලාවියේ ජනවහරෙහි එන වචනයි. යෝධ ඇළේ නැම්මේ. පැළ නැති හේන උඹ තෙමුණා අම්මේ, මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ වැනි යෙදුම්වලින් ඒ බැව් සනාථ වේ. එමෙන්ම එම යෙදුම වූකලී සාර්ථක නිර්මාණයක බලෙන් ඔබ්බවන ලද සංකේත නොව ස්‌වාභාවිකවම යොදන ලද සංකේතයෝය.

අධිනීතීඥ රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් විසින් "උලලේනෝ" ගීතය ද විපත වියෝව පාදක කොට රචිත ගීතයකි. රජරට සේවය ආරම්භක සමයේ ලියෑවුණු මෙම ගීතය රජරට සේවය ඔස්‌සේ විකාශය විය. රාත්‍රිකාලයට වාදනය වන මෙම ගීතයේ ගුණදාස කපුගේගේ ගැඹුරු හඬ සමඟ මුසු වූ පදරුත්, උගත් මෙන්ම සාමාන්‍ය අවබෝධයක්‌ ඇති ගැමියාට පවා ලබා දුන්නේ මහත් වින්දනයකි.

උලලේනෝ ගීතයට පදනම් වූයේ මර්දනය කළ අසාර්ථක 71 කැරැල්ලෙන් අහිමි වූ තරුණ ජීවිත බව කියෑවේ. එහි එන "ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ. නුඹටත් එක්‌කයි මං මේ පැල් කවිය කියන්නේ" යන යෙදුම 71 අහිමි විප්ලවය පිළිබඳ ඉඟි කරයි.

මීට අමතරව අමරසිරි පීරිස්‌ මහතා ගයන ළඳුනේ ගීය ද රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් විසින් රචිත ගීතයකි. ගණිකාවක්‌ වුණත් ඇය කෙරෙහි දැක්‌විය යුතු මානුෂික දයාව පිළිබඳව එමගින් කියෑවේ.

පසුකාලයක රූපවාහිනි වැඩසටහන්වල පෙනීසිටි රන්බණ්‌ඩා සෙනෙවිරත්නයන් ගේය පද රචනය මෙන්ම සුභාවිත ගීතය පිළිබඳ ප්‍රේක්‍ෂක මතකයේ රැඳී පවතින වැඩසටහන් රැසක්‌ ඉදිරිපත් කළේය. එමෙන්ම ඔහු "හිතේ දුකට කියන කවි" හා "නිහඬ නිම්නය" නමැති කාව්‍යමය ග්‍රන්ථ දෙකක්‌ හා A New Political Concept for Sri Lanka (1999) කෘතියත් පළ කරනු ලැබීය.

සෑම කෙනකුටම තමන් ගත් තීරණ වැරදී ගිය අවස්‌ථා විය. ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම ඔහු ගත් වැරදි තීරණයක්‌ බව මම සිතමි. මක්‌නිසාද යත් දේශපාලනය වැනි කඨෝර කර්කශ මනුෂ්‍යත්වයෙන් ඈත්වූ විෂයයක්‌ රන්බණ්‌ඩා සෙනෙවිරත්න නමැති සරළ අහිංසක ගැමියෙකුට බර වැඩිය. දවසක්‌ පැල නැති හේනේ ගීතයේ අවසානයට යොදා තිබෙන මහවැස්‌සක්‌ වසින්නට තැත් දරන කොළඹ අහස ගැන හෙතෙම පවසන්නේ ඒ නිසාය.

ඔහු විසින් එක්‌තරා වැඩසටහනක දී කියන ලද වැකියක්‌ මේ අවස්‌ථාවේ සිහිපත් කිරීම වටී. සුනඛයෙක්‌ මියගිය විට මිනිස්‌සු හැටක්‌ පමණ වටවී සොයා බැලූ යුගයක්‌ අපට තිබිණි. නමුත් මිනිස්‌සු හැටක්‌ මැරුණත් එක්‌කෙනෙක්‌වත් නොබලන යුගයක අපි ජීවත්වෙමු. එවැනි යුගයකට වඩාත්ම අවශ්‍ය වන්නේ රන්බණ්‌ඩා සෙනෙවිරත්න වැනි මිනිසුන් බව අපිට පසක්‌ වේ.

ධර්ම වන්නිනායක

(දිවයින පුවත් පතේ පළ වූ පැරණි ලිපියක් උපුටා ගැනීමකි)

lankaflix

fox final 0728 mirror