අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත

අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත

'කොයි පාරෙන් ගියත් වැටෙන්නේ එකම පාරට'

1943 ජූලි 14 මාතර කෝට්‌ටේගොඩදී පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ලෙසින් උපත ලද ඔහු රටක් දැන හඳුනාගන්නේ රෝහණ විජේවීර ලෙසිනි. උලපනේ ශාන්ත මේරි වතුයායේ දී අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත විමලසිරි ලෙස අත් අඩංගුවට ගෙන 1989 නොවැම්බර් 13 වැනි දින බොරැල්ල සුසාන භූමියේදී ජීවිතයෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 46 කි.

අනුරුද්ධ ජයසිංහ 'ගින්නෙන් උපන් සීතල' සිනමාපටය නිර්මාණය කරන්නේ එකී රෝහණ විජේවීර පිළිබඳවය. එහි චන්ද්‍රකුමාර වික්‍රමරත්න ලියූ විමුක්ති ගීයක් ද නැවත සිහියට නගයි.

පැලේ ලිපේ තැම්බෙයි අල කොළ මාලූ
දොහේ දෙකේ ඒකත් නැතුවා යාලූ
ගොයි ජනපදේ දුක කිසිවෙක් දැක නෑලූ
දුටුවත් අනේ උන්ගේ ඇස් අඳ සේලූ

ඉතිහාසය සහ සිනමාව යන යනු සංකීර්ණ විෂයයන්හි පොදු කුලකයක් ලෙස හැඳින්විය හැකි 'ගින්නෙන් උපන් සීතල' යනු ලංකාවේ මෑත කාලයේ බිහි වූ සිනමාපට අතරින් උනන්දුවෙන් නරඹන්නට හැකි ලෙස නිර්මාණය කළ සිනමාපටයක් ලෙස හඳුන්වනු කැමැත්තෙමි.

සිනමා නිර්මාණය තුළ රෝහණ විජේවීරගේ දේශපාලනය පිළිබඳ සාකච්ඡා කෙරෙන කාලය හා සමාන කාලයක් විජේවීරගේ කුටුම්භ රක්ෂාව ප්‍රකට කරනු පිණිස වෙන් කිරීම තරමක් පැටලිලි සහගත ය. එමෙන්ම දේශපාලනික සිනමා රසික ප්‍රජාව ඉක්මවා පොදු සිනමා රසික ප්‍රජාවද පිනවනු පිණිස විජේවීර - චිත්‍රාංගනීගේ දරුවන් පිළිබඳ තරමක් භවතීෂ්‍ය දර්ශන සහ දෙබස් නිර්මාණය කරන අධ්‍යක්ෂවරයා එමොහොතේ දී ඔහුගේ ටෙලි නාට්‍ය ලක්ෂණ ද සිනමාපටයට එක් කර ඇති බවක් පෙනී යයි.

1983 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානය හිමි වූයේ Gandhi චිත්‍රපටයට ය. එය හා කරටකර තරග වැදුණු E.T. the Extra-Terrestrial චිත්‍රපටය අභිබවා Gandhi චිත්‍රපටයට සම්මානය පිරි නැමීමට හේතුව ලෙස ජූරිය පවසා සිටියේ 'ගාන්ධි චිත්‍රපටය තුළින් වහනය වන මානුෂීය ගුණ සුවඳ' ප්‍රබල වූ බව ය. අනුරුද්ධ ජයසිංහ ගේ 'ගින්නෙන් උපන් සීතල' තුළින් වහනය වන්නේ මානුෂීය ගුණ සුවඳක් යැයි පැවසීමට තරම් හැඟීම්බර නොවූවද එය මනුසත් බව පිළිබඳ සංඥාවක් දනවන උණුසුම් හැඟීමක් ජනනය කරන බව පවසනු කැමැත්තෙමි. වෛද්‍ය ජයතිලක සහ බිරිඳ ලෙස රංගනයේ යෙදෙන විශ්වජිත් ගුණසේකර සහ දිල්හානි අශෝකමාලාගේ විශිෂ්ඨ රංගනය ද , කඳුරටට සංක්‍රමණය වීමට පෙර කැඩපත ඉදිරියේ තාවර වන චිත්‍රාංගනී විජේවීරගේ ගැහැණු පෙනුම ද ; ශාන්ත මේරි වතුයායේ අවසාන රාත්‍රියේ විජේවීර ආපසු නිවස තුළට පිවිසුණ පසු කහ පැහැති විදුලි ආලෝකයෙන් ඒ පාළු නිවසම සුන්දර වන දර්ශනය ද , අත්අඩංගුවට පත් වන විජේවීර හමුදා භාරයේ කොළඹට ගෙන එන විට වැසි වැටෙන අබලන් මාවතක රෑ අඳුර කපාගෙන නැගෙන හමුදා වාහන වල ආලෝකය ද රසික සිත් තුළ ඇති කරන කම්පනය අති මහත් ය.

විජේවීරගේ චරිතය සමබරව සහ විජේවීර ඇසින් ගොඩනගන්නට යාමේදී එතුළින්ම පැණ නගින ප්‍රතිරෝධ , ප්‍රතිතර්ක සහ විසංවාද නිසාම 'ගින්නෙන් උපන් සීතල' මතුපිට අර්ථයෙන් ඔබ්බට සාකච්ඡා කළ යුතු ඉතිහාසයක් සංවාදයට නැගීමට කරන යෝජනාවක් බඳුය. විජේවීර ප්‍රමුඛ ජ.වි.පෙ නායකත්වය ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ දරණ මතය , ආරක්ෂක අංශ සාමාජිකයින්ට තර්ජනය කිරීම පිළිබඳ ස්වයං පාපොච්ඡාරණ ආදිය එම විෂයයෙහි ප්‍රබල සාධක ලෙස පැවසිය හැකිය.අනෙක් සෑම සියලු සාධකයක්ම ඉක්මවා අභිබවා යන තවත් මහා සාධකයකි. ඒ වෙනකෙක් නොව වන්නකු වත්ත වඩුගේ දෝන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර ය. 'ගින්නෙන් උපන් සීතල' හි චිත්‍රාංගනී විජෙවීර චරිතයට පණ පිවන සුලෝචනා වීරසිංහගේ ප්‍රබල රංගනය පිළිබඳ වෙසෙසින්ම පැසසිය යුතුය. විටෙක හැඟීම් දැනීම් විරහිත රොබෝවරියක් ද තවත් විටෙක සාම්ප්‍රදායික ගෘහණියක් ද සෙනෙහබර මවක් , සෙනෙහෙබර බිරිඳක් මෙන්ම අවැසි මොහොතක විප්ලවවාදියෙකුගේ බිරිඳගේ භූමිකාවද මැනවින් නිරූපණය කරන සුලෝචනා තම ශරීර ඉරියව් , සහ රිද්මයන් තුළින් අදාල අවස්ථාන්වහි චිත්‍රාංගනීට දැනෙන්නට ඇති හැඟීම් විශිෂ්ඨ ලෙස නිරූපණය කරන්නට සමත් විය. විජේවීර සහ ගැබ්බර චිත්‍රාංගනී එක් රාත්‍රියක වෛද්‍ය ජයතිලක සහ ඔහුගේ ගැබ්බර බිරිඳගෙන් සමුගන්නා දර්ශනයේ දී සුලෝචනා චිත්‍රාංගනී ලෙසින් මුහුණෙන් පමණක් නොව ඇකිළුණු , කුදු ගැහුණු සිරුරෙන් ප්‍රකාශ කළ පීඩාබරිත සහ විඩාබර ගැහැනියගේ ආත්මය සිත කිරිගස්වන සුළුය.

'මහා පුරුෂයෙකුට බිරිඳක්ව' කියවා ඇත්තෙමි. නමුත් අනුරුද්ධ ජයසිංහ විසින් රෝහණ විජේවීර ප්‍රතිනිර්මාණය කරන්නට ගොස් ඔහුටද නොදැනීම ප්‍රතිනිර්මාණය වී ඇත්තේ 'මහා පුරුෂයාට වැසුණු මහා බිරිඳ' බව යෝජනා කරමි. එදා පමණක් නොව අද වන විට ද වාම දේශපාලනික සහ විප්ලවවාදී අකුරු සහ සටන් පාඨ , චරිතාපදාන වලින් වැසී ගිය , ඉතිහාසයේ කුණු මුල්ලට තල්ලු කළ මොරටුව විල්ලෝරවත්තේ තරුණියකගේ ඉරණම අනුරුද්ධ ජයසිංහගේ සිනමාපටයේ දී සියලුම මහා චරිත අභිබවමින් ඉස්මතු වී ඇත. ඇයට කළ සාධාරණය වෙනුවෙන් ස්තුතියි අනුරුද්ධ !

සිංහල සිනමාව අපෝ වී ඇති යුගයක සංවාදයට බඳුන් කළ හැකි නිර්මාණයක් බිහි කිරීම උදෙසා වන ගෞරවය , අධ්‍යක්ෂවරයා සහ තිර රචකයා මෙන්ම කැමරා අධ්‍යක්ෂවරයාට ද හිමි විය යුතුය. ජනෙල් කවුළු අතරින් රූපයට නැගෙන කලාත්මක දර්ශන ද ; චේගේ යතුරු පැදි සවාරිය සිහි නංවන කඳුකර වංගුවේ දර්ශන ද මෙන්ම පසුකාලීනව චිත්‍රාංගනී නිරන්තරවම දරුවෙක් වඩාගෙන හෝ අතින් අල්වාගෙන , එසේත් නැත්නම් කුසේ දරාගෙන සිටින ආකාරයට පෙන්වීම තුළින් ඉඟි කෙරෙන කරුණු තව තවත් අවධානයට ලක් කළ යුතුවේ.පක්ෂය තහනම් වන තුරුම විජේවීර සහභාගී වන පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම් වල අනෙක් සාමාජිකයන්, චිත්‍රපටය මුලදී එල්විස් ප්‍රේස්ලි මෙන් හැඩගන්වා තිබූ සෝමවංශ අමරසිංහ පවා පාවහන් රහිතව බිම වාඩි වී සිටියදී විජේවීර පමණක් සැමවිටම මේස් ජෝඩුව පැළඳ සිටියි. පූර්ණකාලීනව සැඟවී අනන්‍යතාව රහිත මිනිසෙක් බවට පත් වූ පසු හොර රහසේ පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේවීර ද අනෙක් අය මෙන් ; කිසිවක් නොපැළඳූ පාවලිනි. එය අධ්‍යක්ෂවරයා විසින් සිතා මතා සැලසුම් කරන ලද්දැක්දැයි නොදනිමි. නමුත් කොමියුනිස්ට් පීකිං පිළේ එන් ෂන්මුගදාසන් බිම වාඩි වන විට කොට්ටයක් තැබීම සහ වතුර වෙනුවට සෝඩා බීම ගැන ඉතිහාසය දන්නා අයට සෑම වාමාංශික ඉතිහාසයකම ලක්ෂණ සිහිපත් වීම වළක්වනු නොහැකිය.

'සහෝදරයා , අපි කොයි පාරෙන්ද යන්නෙ ?' සුක්කානම දරන සහෝදරයා අවසාන මොහොතේ රෝහණ විජේවීරගෙන් විමසයි. අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත විමලසිරි හෙවත් පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර සෘජුව, නොසැලී ඉදිරිය බලා පිළිතුරු දෙයි.

'කොයි පාරෙන් ගියත් වැටෙන්නේ එකම පාරට'

- සහන් කසීර වික්‍රමසිංහ -

lankaflix

fox final 0728 mirror