මේ දේශපාලන ප්‍රශ්න මට අදාළ නැහැ - සිනමා අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම්

මේ දේශපාලන ප්‍රශ්න මට අදාළ නැහැ - සිනමා අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම්
චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ 'අකෝඩිං ටු මැතිව්' සිනමා සිත්තම  පසුගිය 23 වනදා  ප්‍රදර්ශනය ආරම්භ කරණ ලදී.  ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වැය කොට තැනූ මෙහි වත ගොත පිළිබඳවත් වත්මන් සිනමාවේ චන්ද්‍රන් රත්නම් සලකුණ පිහිටන ආකාරය පිළිබඳවත් ඔහු අප සමඟ පැවසූ කරුණු රැසකි.
 
සිනමා කර්මාන්තය පිළිබඳ ඔබට දැනෙන්නේ කොහොමද?
 
මම හිතන්නේ අපි ලෝක වෙළෙඳපොළ පිළිබඳ කල්පනා කළ යුතුයි. අපේ අසල්වැසියන්ගේ වෙළෙඳපොළ පිළිබඳ සිතිය යුතුයි. ඒ වගේම අපි සිංහල ප්‍රේක්ෂකාගාරය සඳහා පමණක්ම චිත්‍රපටයක් තනනවා නම් අපට පිරිවැය පිළිබඳවත් සිතන්න වනවා. මොකද ඉන් අපට ලබන්න පුළුවන් ආදායම හරිම කුඩයි. 
 
අකෝඩිං ටු මැතිව් ඒ අභියෝගවලට මුහුණ දෙයිද?
 
එහෙම නොවේ නම් ඉන්දියාව ඒ ගැන උනන්දු වෙයිද? මම ඉන්දියාවේ ඉඳන් ආවේ, මට ඉල්ලුම්කරුවන් පස් දෙනකු කතාකළා. ඔබ හිතන්නේ එකම සාධකය ජැකලින් කියලද? ජැක්ලිනුත් සාධකයක් තමයි. ඒත් එකම හේතුව නෙවෙයි. ඇත්තම කීවොත් මම විශ්වාස කරන විදිහට මම ඉස්සල්ලා කියූ දේවල් ගැන තේරුම් අරගෙන හිටියේ හුඟක් තරුණ කාලේ ඉඳලම. ඒ නිසා අලුත් පරපුරත් මේ දේවල් අවබෝධ කර ගත යුතුයි. සම්මාන-සම්මාන කිය කිය ඉඳලා වැඩක් නෑ. ඒ සම්මාන දිහා ඔයයි ඔයාගේ ගෑනු ළමයයි, නෝනා හරි මහත්තයා හරි බලාගෙන ඔයාට හරි හොඳයි කියයි. ඒත් රතු කාපට් එකේ ගිහින්, මල්මාලා දාගෙන සම්මානෙ උස්සන් එනකොට නිෂ්පාදකයා පිස්තෝලේ එල්ල කරගෙන ඉන්නවා, මොකද එයාගේ ගෙදර උගස්කරලා ගත්ත සල්ලි ටික බේරලා නැතුව. ආයේ නිෂ්පාදකයයි අධ්‍යක්ෂයි කතා නැහැ. 
 
ඒ කියන්නේ ඔබට සම්මාන වැදගත් නැද්ද?
 
මම ලැබෙන සම්මාන ගැන ආඩම්බරයි. ඒත් ඒ වෙනුවෙන් විතරක් චිත්‍රපට හදන්න බැහැ. සිනමා උලෙළකදි කීදෙනයිද දෙයියනේ චිත්‍රපටයක් බලන්නේ. සීයයි දෙසීයයි. ඒකෙනුත් වැඩි හරියක් ආරාධිතයන්. මම කතා කරන්නේ මිලියන ගණන් ප්‍රේක්ෂකයන්ට මගේ චිත්‍රපටය බලන්න ඕනා කියන තැනට ගේන විදිහ ගැනයි. මම කැමති විශාල ප්‍රේක්ෂකාගාරයකටයි. ඒත් අපි කොහොමද අලෙවිකරන්නේ කියලා දන්නේ නැහැ.
 
ඇයි?
 
සමහරු මට කියනවා දේශපාලන ප්‍රශ්න නිසා මේ කාලේ චිත්‍රපට දාන්න එපාලු. ඊළඟට කියනවා නත්තල් කාලේ පෙන්නන්න එපා කියලා. ඊටත් පස්සේ කියනවා වහින කාලේ පෙන්නන් එපාලු. මේ ඔක්කොම බොරුනේ. චිත්‍රපටයක් හොඳනම් රට පෙරළුණත්, නත්තල් වුණත් නැතත්, වැහි සීයක් ආවත් මිනිස්සු තෙමීගෙන හරි එනවා. ඉතින් මොනවද මේ විකාර. මේ දේශපාලන ප්‍රශ්න මට අදාළ නැහැ. කාටහරි මගේ චිත්‍රපටය බලන්න ඕන නම් ඒ ඕනා අය එයි. චිත්‍රපටයක් සාර්ථක වෙනවා කියන්නේ ඒක ඔබට තවත් පාරක් බලන්න හිතෙනවා කියන එකයි. එතකොට තමයි කියන්න පුළුවන් ඔන්න මම හොඳ චිත්‍රපටයක් හැදුවා කියලා. එක්කෙනකුගෙන් ඇහුවාම කොහොමද අලුත් චිත්‍රපටය කියලා. ආ මම නම් බැලුවා ඔයා යනවද මමත් එන්නම් දෙවැනි සැරේටත් බලන්න ආසයි කියලා කියනවා නම් තමයි හිට් එක. එහෙම නැතුව සම්මාන නෙවෙයි.
 
ඒකියන්නේ ඔබ සම්මාන උලෙළවලට චිත්‍රපට දෙන්නේ නැද්ද?
 
මම කිසිම උලෙළකට මගේ කෘති ඉදිරිපත් කරන්නේ නැහැ. මගේ ද කොමන් මැන් එක ඇමෙරිකන් බෙදාහැරීමක් කළේ. එය බෙදාහරින්නා භාෂා පහකට විතර පරිවර්තනය කරලා රටවල් ගණනාවක පෙන්වලා තිබුණා. එය මෙඩ්රිඩ් උලෙළේ හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂ, හොඳම චිත්‍රපටය වුණා. මම දන්නෙත් නැහැ. මම දන්නවා නම් මම නිර්දේශ වුණා කියලා, මගේ කැමරාත් අරගෙන උලෙළට සහභාගී වෙනවා. මමත් ආසයි ඒ අවස්ථාවට. කොහොම හරි මට මේ සම්මානය ලැබුණු බව කීවම ඒක තුට්ටු දෙකේ සම්මානයක් කියන්න සමහර අය මහන්සි වෙනවා. එහෙම හොඳ නැහැ. මොකද මේ හොඳම අධ්‍යක්ෂ සහ චිත්‍රපටය කියන සම්මාන දෙකම 1954දී සත්‍යජිත් රායිගෙන් පස්සේ ආසියාවේ කිසිකෙනෙක් දිනලා තිබුණේ නැහැ. ඉතින් මම කියන්නේ මිනිස්සු ඊර්ෂ්‍යාකාරකම් කරන්න හොඳ නැහැ. එක එක්කෙනා සතු හැකියාවන් තිබෙනවා. ඒවා ගැන සතුටු වෙමින් තමන්ගේ දේත් ඒ තැනට ගෙනියන්න හදනවා මිස අධ්‍යක්ෂවරයෙක් තවත් අධ්‍යක්ෂවරයකු ගැන විවේචනය කරන එක යුතු නැහැ. 
 
ලංකාවේ චිත්‍රපට ලෝකවෙළෙඳපොළට නොයන්නේ ඇයි?
 
චිත්‍රපටයකින් පෙන්නන්න ඕනා දුප්පත්කම විතරද? අපි මේ බොරුවෙන් අයින් වෙන්න ඕනා.
අනෙක නිධානය වගේ චිත්‍රපටයක් කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවුරුදු 15ක් තිස්සේ කිසිම රජයකින්වත් අනුග්‍රහයක් නොදැක්වුයේ ඇයි තවත් චිත්‍රපටයක් හදන්න. ඔහු අවුරුදු 60දි නොදෙන අවස්ථාව තවත් දුර්වල වෙලා ගියාමද දෙන්නේ. ඔය දේම ඕසන් වෙල්ස්ටත් වුණා හොලිවුඩ්වලදි. ඔහුට සල්ලි දුන්නේ නැහැ කවුරුත් චිත්‍රපටයක් හදන්න මැරෙනකල්ම.
 
ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මම වැකන්ද වලව්ව කරන්න දුන්නේ එක් අතකට ආත්මාර්ථකාමී හැඟීමකින් කියන්න පුළුවන්. මොකද ඔහුගේ චිත්‍රපට කාන් සිනමා උලෙළවලට ගන්නවා. එතකොට මටත් ටයි කෝට් දාගෙන රෙඩ් කාපට් එකේ ඒ දෙන්නත් එක්ක කැන්ස් උලෙළට සහභාගී වෙන්න පුළුවන්. මට හිතුණ දේ  හරියටම හරි. මමයි මගේ බිරිඳයි ඒ ජෝඩුවත් එක්ක ඒ වතාවේ කැන්ස් ගියා.
 
ඉතින් ඔබේ චිත්‍රපටයක් අරගෙන යන්න තිබුණානේ?
 
මම චිත්‍රපට හදන්නේ සම්මාන ගන්න නෙවෙයි සල්ලි හම්බකරලා මගේ දුවට කන්න බොන්න හොයලා දෙන්න. අනෙක සම්මාන උලෙළ කොයිකේ වුණත් සම්මාන දෙන හැටි මම කියන්න ඕනේ නැනේ. ඒ නිසා සම්මානය ලැබුණොත් හොඳයි. ඒක මම ගන්නවා. ඒත් මම නිෂ්පාදකයන් අමාරුවේ දාන චිත්‍රපට කරන්න කැමති නැහැ. මිනිස්සු කීවොත් අන්න රත්නම් මරු වැඩක් කරලා තියෙනවා කියලා. බොක්ස් ඔෆිස් හිට් නම් ඒකයි මගේ ඇත්තම සම්මානය. මම සම්මානවලට විරුද්ධ නැහැ. වැරදියට තේරුම්ගන්න එපා. මෙය 'ෂෝ බිස්නස්' එකක්. ෂෝ කියන්නේ චිත්‍රපටය. බිස්නස් පැත්තත් බලන්න එපැයි. 
 
මම යන්නේ හොලිවුඩ් සිස්ටම් එකට. ඒත් ප්‍රංශ නව රැල්ල කියන්නේ මොකක්ද? ඒභබභඥප ක්‍රමය කියන්නේ මොකක්ද? තමන් තනිවම ඔක්කොම කළා කියන එක. දෙවියනේ මට නම් මගේ තේ හදන කොල්ලාත්  නැතුව මේ වැඩේ කොරන්න බැ. චිත්‍රපට කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ලෝකයේ සාමූහික ප්‍රයත්න අතර මුල් තැන ගන්නා කලාව සිනමාව. අපිත් දානවා තමයි ප්‍රචාරක කටයුතුවලදි 'අ චන්ද්‍රන් රත්නම් ෆිල්ම්' කියලා හරිනම් එහෙම කියන්නත් බැහැ. ඒක ටීම්වර්ක් එකක්.        
 
ඒජජධපඤඪදඨ බධ ර්චබබඩඥඹ සිනමාවට නඟන්න හිතුවේ ඇයි?
 
මම හිතුවේ නැහැ. මම බොරැල්ල සෙන් පෝල්ස් පල්ලියට යනවා. එතැන හිටිය ෆාදර් බැසිල් ජයවර්ධන ස්වර්ගස්ථ වුණාට පස්සේ ෆාදර් මැතිව් තමයි පල්ලිය බාර ගත්තේ. අපේ අම්මලා තාත්තලා එක්ක වුණත් හරි යාළුයි. අපේ පවුලේ අයගේ මඟුල් මරණ වගේ දේවලදි එතුමා තමයි සහභාගී වුණේ. මම ඇමෙරිකාවට ගිහින් අවුරුදු 40ක් හිටියා. තාත්තා මට කතා කරලා කීවා ෆාදර් මැතිව් ඇමෙරිකාවට එනවා එතුමව බලාගන්න කියලා. එතුමා හොඳ වැඩකට ඇවිත් හිටියේ. දුප්පත් පිරිමි ළමයකුගේ හාට් ඔපරේෂන් එකක් නොමිලේ කරන්න. එතුමාට එහෙම කතා කරලා වැඩක් කර ගන්න පුළුවන්. කාලයක් ගිහින් මම වැලිකඩ හිරගෙදරට ගියා චාර්ල්ස් සුබ්රාජ් කියන සුප්‍රසිද්ධ මිනීමරුවා පිළිබඳ ඔස්ට්‍රේලියානු චිත්‍රපටයක් ෂූට්කරන වැඩවගයකට.
 
මට කෙනෙක් තට්ටු කරනවා. කවුද? ෆාදර් මැතිව්. ජම්පරයක් ඇඳලා. කුරුසයක් කරේ. අතේ බයිබලයක්. මම පැන්න ගමන් බදාගත්තා. මගෙන් ඇහුවා මෙහෙ මොකද කරන්නේ කියලා. චිත්‍රපට වැඩ කීවාම ලබන සතියේ හමුවෙන්න එන්න කීවා. මමත් ගියා. එතුමගේ කතාව කරන්න කියලා විස්තරේ කීවා. ඊට පස්සේ උසාවි වාර්තාවලින් තොරතුරු ගත්තාම තියෙන්නේ වැරැදිකරු වෙලා එල්ලා මරන්න නියම කර තිබෙනවා කියලා. එතකොට ෆාදර් කීවා නැ නැ මම ආපහු අභියාචනාධිකරණයට යනවා, ඔයා වැරැදි වැඩ කරන්න එපා කියලා මට බැන්නා. මම ටිකක් බය වුණා මොකද ගුරුකම් දන්නවාලුනේ. මම ඒ දේවල් ගැන දන්නේ නැනේ... මම හිතුවා අපෝ මේ වැඩෙන් අයින් වෙනවා කියලා. ඊට පස්සේ බලන්න ගියෙත් නැහැ. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබලා, පස්සේ ජනාධිපතිනියගේ සමාව ලැබිලා ඇවිත් අවුරුද්දකට පස්සේ ස්වර්ගස්ථ වුණා. ඒ කතාව අවුරුදු 25ට කලින්. 
 
මගේ යාළුවෙක් තමයි ඇල්ස්ටන් කොක්. ඔහු ඔස්ට්‍රේලියාවේ වෙසෙන කෙනෙක්. මේ කතාව අහලා මම කම්මැලි කරද්දි ඔහු තමයි චිත්‍රපටය හදන්න මට බල කළේ. ඔහු පොඩි කාලේ පූජකවරයෙක් වෙන්න හිටපු නිසා බයිබලය කටපාඩම්. ඒකත් හොඳ නිසා මම ඔහුම මේ චරිතයට තෝරා ගත්තා. ජැක්ලින් කතාවට කැමති වුණා. ඉතින් අපි චිත්‍රපටය කළා. 
 
මෙය අභියෝගයක් වුණේ නැද්ද?
 
සිනමාව පැත්තෙන් නෙවේ අභියෝග ආවේ. පූජකතුමාගේ පවුලෙන් විරෝධයක් ආවා. දුරකථන ඇමතුම් ආවා. උසාවි ගෙනයනවා කීවා. අදාළ ආගමික නායකයන්ගෙන් විරෝධයක් ආවා. රටේ නායකයන්ට ලියුම් ගිහින් තිබුණා මේ චිත්‍රපටය වාරණය කරන්න කියලා. ඒ සියල්ල විසඳාගෙන දැන් අපට චිත්‍රපටය නිදහස් කරන්න පුළුවන් වෙලා තියෙනවා.
 
එහෙම තහනම් ආවා නම් රූපගත කිරීම් කළේ කොහොමද?
 
අපි පල්ලි ගොඩකට ගියා. කිසිම එකකින් ඉඩ දුන්නේ නැහැ. පණිවිඩේ ලැබිලා තිබුණා මේ පුද්ගලයාගේ චිත්‍රපටයට ඉඩ දෙන්න එපා කියලා. පස්සේ අපි පල්ලියක් හැදුවා. මම කියන්නේ මෙච්චරයි. කාටවත් බැහැ නිර්මාණකරුවකු නවත්වන්න. අපිට යමක් කරන්න ඕන නම් ලංකාවේ කරන්න දෙන්නැත්නම් ඉන්දියාවේ හරි මැලේෂියාවේ හරි ගිහින් කරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන්න බැහැනේ. පිටත රූපරාමුවලට උදේ පාන්දර ඩ්‍රෝන් එක දාලා අවශ්‍ය පින්තූර ගත්තා. ඒකයි මම කියන්නේ දෙවියනේ අපිව නවත්වන්න බෑ කියලා.
 
ඔබට ආගම් විරෝධී කියා කවුරුන් හෝ චෝදනා කළොත්?
 
නෑ. මේක ආගම් විරෝධී කතාවක් නෙවෙයි. අපේ ප්‍රශ්නවලදි අපි යන්නේ අපේ පූජකතුමන්ලා හමුවන්න. උපදෙස් ගන්නේ, පව් සමාකර ගන්නේ උන්වහන්සේගෙන්. එවන් අවස්ථාවක පූජකවරයෙක් අපේ දරුවන්ට ලිංගික අපයෝජනයක් කළොත්? කී දෙනකුට මේ අසාධාරණේ වෙලාද? චිත්‍රපටය හැදුවට පස්සේ තමයි මට සමහරු ඇවිත් කීවේ මට මෙහෙම වුණා, අපට මෙහෙම වුණා කියලා. අනෙක මෙතුමාගේ බිරිඳ වගේම අනියම් බිරියත් මේ පුද්ගලයා කරන දේවල් දැනගෙන හිටියා. මුළු පල්ලියේ පිරිසමත් දැනගෙන හිටියා. ඉතින් ඒ අයට බැහැ මට කියන්න චිත්‍රපටයක් හදන්න එපා කියලා. ඒ කිසි කෙනෙක් එදා කට ඇරලා කීවෙ නැහැ ඔය දේ කරන්න එපා කියලා. 
 
එක දෙයක් තියෙනවා. පූජකතුමාට පුදුම බලයක් තිබුණා යමකට කෙනකු පොළඹවා ගන්න. ඒ බලය නිසා ඔහු හිතුවා මට කවදාවත් වරදින්නේ නැහැ. මාව කවදාවත් අසුවන එකක් නැහැ කියලා. එතනයි වැරදුණේ. 
මට මුලින් මේ චිත්‍රපටය කිරීම හරිද කියලා සැකයක් තිබුණත්, මම අද හරිම ආඩම්බර වෙනවා මේ චිත්‍රපටය කළ එක ගැන. මොකද අපි අපේ දරුවන්, අපේ පරම්පරාව රැකගත යුතුයි. නිල ඇඳුමට හැංගිලා වැරැදි කරන අය කවුද? අපි දරුවන් පරෙස්සම් කර ගතයුතුයි. අපේ සම්පත දරුවන් නේ...
 
අනෙක මේ ප්‍රශ්නය ලෝකේ සැම තැනම දැවෙන ප්‍රශ්නයක් වෙලා නිසා හරිම කාලෝචිතයි. ඇමෙරිකාවෙනුත් චිත්‍රපටය ඉල්ලන්නේ ඒකයි. 
 
මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙසද නම් කෙරෙන්නේ? 
 
සියයට සියයක් ශ්‍රී ලාංකිකයි. ශ්‍රී ලාංකිකයන් එක්ව කළ ලංකාවේ නිෂ්පාදනයක්. ඒත් බෙදා හැරීම ලොව පුරා සිදු වෙනවා. චිත්‍රපටය හැදුවට පස්සේ තමයි මට මතක් වුණේ මෙය කමර්ෂල් ඕඩියන්ස් එකට හොඳ එකක් කියලා. ලෝක වෙළෙඳපොළට බෙදා හරිද්දි ලෝකේ හඳුනන නළුවෙක් නිළියක් ඕනා. එයට සහාය වන්න සාමාන්‍ය අය යොදා ගන්න පුළුවන්. හැබැයි මගේ මේ චිත්‍රපටයේ නළු නිළියන් සියලුදෙනා ශ්‍රී ලාංකිකයන්. ඇල්ස්ටන් කොක් ඔස්ට්‍රේලියාවේ හිටියට ශ්‍රී ලංකාවේ කෙනෙක්.
 
ජැකලයින් ගැන කවුරුත් දන්නවා. මම, මගේ පිරිස, සංස්කරණය මගේ පුතා, කැමරාව චන්දන ඉතින් තව මොනවද? හැබැයි මම ආසයි මගේ චිත්‍රපටවලට අලුත් මුහුණු අඳුන්වා දෙන්න. එකක් ඒ අයට හැකියාව තිබෙනවා අවස්ථාව නැහැ. අනෙක එහි නැවුම් ගතියක් තිබෙනවා. ඒ වගේම අලුත් අය මම කියන දේත් අහනවානේ...
 
ඒ කියන්නේ රංගන ශිල්පීන් කළ යුත්තේ අධ්‍යක්ෂවරයා කියන දේ පමණද? ඔවුන් තුළින් එන දායකත්වයක් අවශ්‍ය නැද්ද?
 
මම ඉස්සෙල්ලාම චරිතය නළුවන්ට කියා දෙනවා. එයින් මම බලාපොරොත්තු වන්නේ ඒ ශිල්පියාගේ අර්ථ නිරූපණය. එයින් සමහර විට අපි නොහිතන දෙයක් චිත්‍රපටයට ගේන්න පුළුවන්. එය හරි නැත්නම් විතරයි මම අතපොවන්නේ. මම කැමතියි තරුණ පිරිස සමඟ වැඩ කරන්න. ඒ අයත් කැමතියි මාත් එක්ක කටයුතු කරන්න. ඒ අයගේ තරුණකම තමයි මටත් ජවයක් ගේන්නේ. මගේ හරි වැරැදි පෙන්වන්න පුළුවන් අයට මම කැමතියි.
 
ඔබ කාලයක් ඇමෙරිකාවේ සිටිය නිසා මෙහි පිරිස සමඟ කටයුතු කරද්දි අපේ සිනමා ශිල්පීන්ගේ වෙනසක් දකිනවාද?
 
ඒ අය මාත් එක්ක වැඩ කරලා මගේ විදිහට හුරු වෙලා. මගේ ෆිල්ම් ලොකේෂන් සර්විසස් එක අවරුදු තිස්තුනක්. ඉතින් ඒකෙන් හැදිලා ගිය කොල්ලොනේ ඔය හැම තැනම ඉන්නේ. මම ඇල්ෆ්‍රඩ් හිච්කොක් හමුවුණා දවසක් ඇකඩමි අවෝඩ්ස්වල. මම කීවා ඔබතුමා වැඩකරන හැටි බලන්න ආසයි කියලා. එයා සතුටින් එන්න කීවා. මම ගියා. එයාගේ කාමරේ හැම තැනම ස්ටෝරි බෝඩ් එල්ලලා. හරි බිසී. මම ඉතින් යන්න හැදුවාම මට ඉන්නම කීවා. පස්සේ මම ඇහුවා ඔබ කවද්ද චිත්‍රපටය පටන්ගන්නේ කියලා. මොකක්ද උත්තරේ. මම චිත්‍රපටය කරලා ඉවරයි. මට දැන් කරන්න තියෙන්නේ ෂූටින් විතරයි කියලා. ඒක තමයි මම ඉගෙන ගත්තේ ඒකම තමයි මම කරන්නේ. මම සෙට් එකට ගිහින් සමහරු වගේ කොණ්ඩෙ කහන්නේ නැහැ කැමරාව දාන්නේ කොහෙන්ද කියලා. මම යද්දි ඔක්කොම ලැස්තිකරලා තියෙන්නේ. මට තියෙන්නේ හරිද කියලා බලලා ඇක්ෂන් කියන්න. අටට නම් අටට පටන් ගන්න ඕනා. දැන් යකඩ කටෙන් කැගහන්න ඕන නැහැනේ ඇ..ක්ෂ..න් කියලා. මොනිටරේ තියෙනවා සද්ද නැතුව වැඩටික කරනවා. 
 
අද අපේ සිනමාව ගැන මොකද හිතන්නේ?
 
කතන්දරේ-කතන්දරේ- කතන්දරේ. එහෙම එකක් නැත්නම් චිත්‍රපට හදන්න එපා දෙයියනේ. 
 
මම අපේ කර්මාන්තයට විරුද්ධව නෙවෙයි කියන්නේ. මම කැමති එය උනන්දු කරවන්න. ඒකයි මෙහෙම කියන්නේ. අනුන්ගේ වැඩ හොයන්න එපා. තමන්ගේ වැඩේ කොරපං. තිර රචනය හරියට නැත්නම් වැඩක් නැහැ. ඔයා මගේ චිත්‍රපටය බලන්න ගිහින් ඔයාට අයිස්ක්‍රීම් එකක් කන්න නැඟිටලා යන්න හිතනවා නම් මම පරාදයි. ඇස්පිල්ලම් ගහන්නවත් හිතන්නේ නැතිව බලනවා නම් තමයි සාර්ථක. මම මැතිව් හැදුවේ එහෙම. මම අපේ සිනමා කලාවට ආදරෙයි. ඒත් සාමුහිකත්වය තියෙන්න ඕනා. අනෙක බෙදා හැරීම ක්‍රමවත් වෙන්න ඕනා. මමත් හිටියා පෝලිමේ සැහෙන කාලයක්. හැබැයි මම ඒ හැම තත්පරයක්ම මේ චිත්‍රපටයේ සියුම් වෙනස්කම් කරන්න යොදා ගත්තා. මාවත් පන්නගෙන කට්ටිය ගියා.
 
කොහොමද ක්‍රමවත් කරන්නේ?
 
මගේ විසඳුම නම් එක සර්කිට් එකක් තියෙන්න ඕනා රජයෙන් නඩත්තු වෙන, හොඳ නරක මොනවා වුණත් තරුණයන්ගේ චිත්‍රපට පෙන්වන්න. චිත්‍රපට ශාලා හිමියන්ට පාඩුවෙන චිත්‍රපට පෙන්වන්න කියලා කියන්න එපා. එයාගේ ව්‍යාපාරයට අපි අත දාන්න ඕන නැනේ. රජය බෙදා හැරීමේ ක්‍රමයට අත නොදා හැමෝටම සහනයක් වන ප්‍රදර්ශන ක්‍රමවේදයක් හදන්න ඕනා. පිටරටවල රජයන් බෙදා හැරීමට අත දාන්නේ නැහැ.
 
අනෙක ප්‍රචාරක කටයුතු කරන්න ඕනා නිෂ්පාදකවරයා. හැබැයි චිත්‍රපටය හොඳයි නම් කටින් කට යන එක තමයි හොඳම ප්‍රචාරක ක්‍රමය.
 
අලුත් අය අලුත් ක්‍රමයට ඩිජිටල් කැමරා, ෆෝන් කැමරා යොදාගෙන චිත්‍රපට කරනවා?
 
හොඳයි. කොච්චර හොඳද? මගේ කාලේ චිත්‍රපටයක් කළාම රීල් එක සුද්ධකරලා එනකල් මොනවා කළාද දන්නේ නැහැ. දැන් එහෙම නෙවෙයි අපට එවෙලේම දකින්න පුළුවන් අපි කරන දේ. සමහරු කියනවා ගැඹුරක් නැලු. මොකක්ද ගැඹුර? ඉස්සල්ල කතාව බලලා ඉඳපංකො... කතාව හොඳ නම් මොන කැමරාවෙන් ගැහුවත් මිනිස්සු බලයි. ෆෝන් කැමරාවලින් කරලා හරි පෙන්වන්නේ තමන්ට තියෙන හැකියාව. ඒ පුද්ගලයා ඊළඟ වතාවේ වෙන කැමරාවකට යයි. සල්ලි හම්බ කළාම තවත් හොඳ විදිහට කරයි. මමත් එහෙමයි. මගේ තාත්තා කොළඹ කුරුඳු වත්තේ. හොඳට සල්ලි තිබුණා. ඒත් මට ෆිල්ම් එකක් කරන්න සත පහක් දුන්නේ නැහැ. ඉතින් මම තරහ වෙලා ඇමෙරිකාවේ හොලිවුඩ්වලට පැනලා ගියා. මම අවුරුදු 15ක් තිර රචනයක් තියාගෙන ඇවිද්දා චිත්‍රපටය හදන්න සල්ලි දෙන කෙනෙක් හොය හොය. පස්සේ මම ම හම්බ කරලා තමයි මගේ මුල්ම චිත්‍රපටය 'ආදර කතාව' හැදුවේ.
 
මේ චිත්‍රපටයට පස්සේ?
 
ඊධධථචඪ ධට බඩඥ ඡ්තඥනඩචදබඵ කියලා චිත්‍රපටයක් කරනවා. වියදම ඩොලර් මිලියන 15ක්. රඟපාන්නේ අමිතාබ් භච්චන් එක්ක පී.එස් බ්‍රොස්නන්. ලබන අවුරුද්දේ ෂූටින් පටන් ගන්නවා.
 
සේයා රූ- නිශ්ශංක විජේරත්න

lankaflix

fox final 0728 mirror