ලලිතකලා මහා‍රාණියට සුභ උපන්දිනයක් වේවා!!!!

ලලිතකලා මහා‍රාණියට සුභ උපන්දිනයක් වේවා!!!!

''ගීතය" වනාහී ශ්‍රාවකයාගේ මනෝභාවයන් ප්‍රබෝධවත් කරන අපූර්වතම කලා නිර්මාණයක් වන අතර, ගායකයෙකු හෝ ගායිකාවක විසින් , එකී මනෝභාවයන් උද්දීපනය කරමින් මිනිස් සන්තානය සියුම්ව ස්පර්ශ කිරීමට සමත්කම් දක්වයි.ඒ අතුරිනුත් සිනමා ගීතය ,චිත්‍රපටයේ ප්‍රස්තුතය මැනවින් ගෙනහැර දක්වමින්, රසිකයා සෙලෝලයිඩ් පටය හා දෘෂ්ඨිමය ,ශ්‍රව්‍යමය හා චෛතසිකමය වශයෙන් බන්ධනීය කිරීමට සමර්ථ වේ..

පුරා දශක හතක් මුළුල්ලේ, එකී අපූර්ව ගායන කෞශල්‍යය මෙරට ගීත ක්ෂේත්‍රය සහ සිනමාව සමඟ මුසු කරමින් තමන් සතු කර්ණ රසායනමය අතුල්‍ය වූ වාචික ස්වරයෙන් ශ්‍රී ලංකේය රසික හදවත් ආමන්ත්‍රණය කළ මියැසි ලාලිත්‍යය ; ගායනවේදිනී කලා ශූරී ලතා වල්පොලයන් අද 84 වන ජන්ම දිනය සමරන්නීය....

1947 වර්ෂයේදී වින්සන් ද අල්විස් සමඟ "කඳුලු දෙනෙතේ වැහෙනා" ගීතය ගුවන්විදුලියට ගායන කරමින් ගීත ක්ෂේත්‍රයට පිවිසි රීටා ජෙනවි ප්‍රනාන්දු, එවකට ජනප්‍රිය ගායකයෙකු හා චිත්‍රශිල්පියෙකුව සිටි සුසිල් ප්‍රේමරත්නයන් විසින් "ලතා ප්‍රනාන්දු" නමින් සංගීත ලෝකයේ බෞතීස්ම කරනු ලැබුවාය..කාලිදාස කුරුකුලසූරිය විසින් රචිත සී.ඒ.ෆොන්සේකා විසින් සංගීතවත් කළ "නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී'' ගීතය ඇය විසින් ගුවන් විදුලියට තනිව ගායනා කළ ප්‍රථම ගීතය විය(ප්‍රථමයෙන් අර්වින් ෆොන්සේකා සමඟ).සුසිල් ප්‍රේමරත්නයන් සමඟ ගැයූ රන්වන් කරලින් පැසිලා,රූ රැසේ අඳිනා ලෙසේ, සහ කළු කැළණි නදී වැනි ගීත එකල ගුවන්විදුලියෙන් අතිශය ජනප්‍රිය විය.

1953 වසරේ තිරගත වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසින් අධ්‍යක්ෂණය කළ "එදා රෑ" චිත්‍රපටයේ පසුබිම් ගායනයට දායක වෙමින්, ලතා ප්‍රනාන්දු සිනමා ගායනයට අවතීර්ණ විය.1950 දශකයේ මැද භාගය පමණ වෙන තෙක් මෙරට සිනමා ගීතය ,සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියානු සංගීතයේ උප කුලකයක් විය..සංගීත ශෛලීය මෙන්ම ගායනවේදීන් ද දකුණු ඉන්දියානු ශිල්පීන් විය..මෙරට සිනමා ගීතයට දේශීයත්වය මුසු කරමින් අපේ යැයි කිව හැකි සිනමාවක් ගොඩනැඟීම උදෙසා සෘජු දායකත්වයක් ,ලතාවන් හා එක්ව එවක තුරුණු ගායකයෙකු වූ ධර්මදාස වල්පොල විසින් ලබා දුන්නේය.ලතා-ධර්මදාස සුසංයෝගය,50 දශකයේදී හෙළ සිනමාව තුළ ස්වකීය අනන්‍යතාවය සනිටුහන් කරමින් මෙරට සිනමා ගීතය තුළ නොමැකෙන මුද්‍රාවක් තැබුවේ ලතා ප්‍රනාන්දු ,ලතා වල්පොල ලෙස පරිවර්තනයද වෙමිනි.සුජාතා,පුදුම ලේලි,අහංකාර ස්ත්‍රී,රදළ පිළිරුව,වන මෝහිනී,ශූරයා,ඩිංගිරි මැණිකා සහ මාතලන් වැනි සිනමාපට ගණනාවක් ලතා-ධර්මදාස ස්වර්ණමය හඬ යුග්මයෙන් හැඩගැන්වුණි...

1950 දශකයෙන් ආරම්භ වූ චිත්‍රපට පසුබිම් ගායනය, දශක ගණනාවක් මුළුල්ලේ චිත්‍රපට 500කට අධික ප්‍රමාණයකට හඬ මුසු කිරීමට ලතා වල්පොළයන්ට හැකි විය.ඇයගේ රන් ස්වරය රිදී තාරකාවන්ට ආශිර්වාදයක් විය..ශාන්ති ලේඛා, කාන්ති ගුණතුංග,කැලැරිස් ද සිල්වා,සන්ධ්‍යා කුමාරි,මාලනී ෆොන්සේකා,ගීතා කුමාරිසිංහ,සබීතා පෙරේරා,මැණික් කුරුකුලසූරිය හෝ සංගීතා වීරරත්න වැනි,විවිධ දශකයන්හි ජනප්‍රිය තිර තාරකාවන් රැසකට ඇයගේ හඬ මනා ලෙස සමානුපාත විය..පණ්ඩිත් ඩබ් ඩී.අමරදේව, මොහිදීන් බෙග්,ධර්මදාස වල්පොල,සනත් නන්දසිරි,වික්ටර් රත්නායක,එච් .ආර් ජෝතිපාල,එම්.එස් ප්‍රනාන්දු,මිල්ටන් පෙරේරා,මිල්ටන් මල්ලවාරච්චි,ග්‍රේෂන් ආනන්ද ,රූකාන්ත ගුණතිලක වැනි බොහෝ ගායන ශිල්පීන් සමඟ ඇය ‍යුග ගායනයෙන් සම්බන්ධ වූවාය.80 දශකය වන විට ජෝති-ලතා සුසංයෝගය ජනප්‍රිය සිනමාවට නැතුවම බැරි විය..පුරා වසර 70 ක් මුළුල්ලේ ඈ විසින් ගායනා කල ගීත සංඛ්‍යාව 5000 කට අධිකය...එතුමිය එදා ගැයූ ලාලිත්‍යයෙන්ම තවමත් මනා ලෙස ගී ගායනා කිරීම අපට මහත් භාග්‍යයකි...තවත් දිගු කාලයක් මෙරට රසික හදවත් ගීතයෙන් සුවපත් කිරීමට ඔබ තුමියට ශක්තිය හා ආශිර්වාදය ලැබේවා!!! කෝකිල කූජනා රැව් පිළිරැව් දේවා!!!!

lankaflix

fox final 0728 mirror