තුන්දෙනෙක් Her-Him-The Other සමඟ ජීවිතය දකිමු

තුන්දෙනෙක් Her-Him-The Other සමඟ ජීවිතය දකිමු

මම තුන්දෙනකු දුටුවෙමි. මට තුන්දෙනකු හමුවිණ. තුන්දෙනා කතාන්දර තුනක් කීවෝය. ඒ කතා තුනම අපගේ ජීවිතයට ළඟය; සමීපය. අඩුවැඩි වශයෙන්, අප අසා ඇති, දැක ඇති, ඇතැම්විට අත්විඳ ඇති සැබෑ කතාය.

ඒ කතා තුළ අපට හමුවන ගැහැනු, මිනිස්සු දරුවන් ජීවත්වන්නේ උතුරේද, නැඟෙනහිර ද දකුණේද යන්න නොවේ අපට වැදගත්වන්නේ. එවන් චරිත අප සමාජයෙහි හමුවන්නේද නැද්ද යන්න පිළිබඳවයි අප සොයා බැලිය යුත්තේ. ඔවුන් අපට සමීප කළ වසර තිහක පමණ කුරිරු යුද්ධයක අනිෂ්ට ඵල විපාක විඳිමින් සිටිනා ජනතාවකගේ පිළිබිඹුව මේ යැයි, අපට කියාදුන් ඔවුන් තිදෙනාම පශ්චාද් යුද සමයට පෙර සිටම ඔවුනගේ සිනමා කාර්යයන් ඔස්සේ හඳුනාගෙන සිටින අපේ කාලයේ නිර්මාණකරුවන් තිදෙනාය. පූර්ව යුද සමයේ මෙන්ම යුද සමයේදී ද, ඔවුන් විශ්වාස කළ නිවැරදි දේශපාලන ආස්ථානයෙහි පිහිටා සිට චිත්‍රපට නිර්මාණය කළ සැබෑ සිනමාකරුවන් ලෙස ඔවුන් තිදෙනාගේම නම් ගම් අපට මතකය. ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා අසෝක හඳගම චිත්‍රපට එදවස වාරණයට හසුවන්නේ ඊනියා සිංහල බෞද්ධ ජාතිවාදී චින්තකයන්ගේ පටු, සිල්ලර දේශපාලන මතිමතාන්තර හේතුකොටගෙනය.

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර හා අසෝක හඳගම ගේ පෙර සිනමා කෘති තුළින් උතුරේ මෙන්ම දකුණේ ද ජීවත් වූ ගැහැනු මිනිසුන්ගේ හද ගැහෙනා රාවය කෙලෙසද යන්න, කලාත්මකව හා සිනමානුරූපීව කීමට ඔවුන් උත්සාහ ගත් බව අපි දනිමු. යුද්ධයේ නිමාවෙන් පසුව වූවද පශ්චාද් යුද අත්දැකීම් සිනමා බසින් කීමට ඔවුහු උත්සාහ ගත්හ. පශ්චාද් යුද සිනමා කෘතීන් ලෙස හඳුන්වාගනු ලබන, ඉර හඳ යට, සිංහාවලෝකනය, මහින්දාගමනය හා ගාමණී වැනි චිත්‍රපට අතරෙහි අසෝක හඳගම, ප්‍රසන්න විතානගේ වැන්නන්ගේ ඉනි අවන්, ඔබ නැතුව ඔබ එක්ක වැනි සිංහල බෞද්ධ ජාතිකවාදී නොවන සිනමා කෘති අපට ප්‍රදානය කොට ඇත. තුන්දෙනෙක් සමඟ ඔවුන් පසුගිය දිනෙක නරඹා විනිශ්චයක් දෙන්නැයි අපගෙන් ඉල්ලා සිටි චිත්‍රපට ත්‍රිත්වයම නිසැක වශයෙන්ම පශ්චාද් යුද සමය තේමා කොටගත් ජාතික සංහිඳියාව, සහජීවනය, මතුපිටින් පෙනෙන එහෙත් රූපයෙන් ඔබ්බට ගිය නැවුම් ජීවිතානුභූතීන් ප්‍රතිනිර්මාණය කොට ගත් මනුෂ්‍යත්වය, ජීවිතය හඳුනාගන්නැයි අපගෙන් කළ ඉල්ලීමක් වැන්න. ප්‍රසන්න, විමුක්ති හා අසෝක රචන හා අධ්‍යක්ෂණයෙන් අපූර්ව සිනමා කාර්යයන් ත්‍රිත්වයක් සමඟ නව්‍ය වූ අත්දැකීමක් ප්‍රේක්ෂකයනට සමීප කිරීමට ඔවුන් ගත් අවංක වෑයම පැසසුම් ලැබිය යුතු වන්නේය.

තුන්දෙනෙක් චිත්‍රපට ත්‍රිත්වය තුළ ප්‍රෙක්ෂකයනට හමුවන ගැහැනු, පිරිමි, දරුදැරියන් පාසල් ගුරුවරු සිටිනා ගම්මාන ඇත්තේ කොහිද? ඔවුන් කවරහුද? ඔවුනගේ ජීවන ගැටලු මොනවාද? තිස්වසරක කුරිරු හා අවාසනාවන්ත යුද්ධයක් නිමාවේ ඉන් වසර කිහිපයක් හෝ ගෙවී ගිය පසුත් ඔවුන් අත්විඳින්නේ යුද්ධයේම අනිටු ඵලද? ප්‍රසන්නට, විමුක්තිට හා අසෝකට මේ ගැහැනු මිනිසුන් හමුවන්නේ උතුරු නැඟෙනහිරදී මායිම් ගමකදී හෝ කොළඹ අගනගරයේදීය. ඔවුන් මුහුණපාන ප්‍රශ්න එකිනෙකට වෙනස්ය. එහෙත් සැබෑය. අව්‍යාජය. තුන්දෙනාගේම විෂය පථය සමානය. ප්‍රවේශය, ආමන්ත්‍රණය හෝ දෘෂ්ටිය එකිනෙකාගේ අනන්‍ය ලක්ෂණ පෙන්වයි. එහෙත් කලා කෘතියක අවසාන ඵලය සේ විශ්වාස කෙරෙන ආනන්දයෙන් ඇරැඹී ප්‍රඥාවෙන් අවසන්වන ගුණයෙන් යුතුය.

යුදබිමේදී කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුමුවට පත් සිංහල සොල්දාදුවකුගේ පෙම්වතිය සොයා ප්‍රසන්න විතානගේ මායිම් ගමකට යයි. සෙබළ සැමියාගෙන් තොරතුරක් නොලැබීමෙන් පසු ජීවිතය ගැට ගසා ගැනීමට, ජීවිතය හා පොර බදන යසෝ ඔවුන්ට හමුවේ. ඇගේ කතාවේ දුක්බර පැත්ත කීමට කොටි වෙනුවෙන් යුදබිමේදී ඔවුනට සේවය කළ වීඩියෝ කැමරාකරුවකුගේ චරිතයක සහාය ප්‍රසන්න ලබාගනී. ඔහුගේ හෘද සාක්ෂියට වධදුන් කතාවෙන් හඳගම ලවා චිත්‍රපටයක් නිර්මාණය කරවීම කේශාගේ වුවමනාවයි. ඇගේ කතාව ඇසූ පසු කේශා වෙනුවෙන් හඳගම නිර්මාණය කරනු ලැබේ යැයි හැඟෙන චිත්‍රපටය ප්‍රසන්න විසින් අපූරුවට නිර්මාණය කළ බවක් ප්‍රේක්ෂකයන්ට දැනේ. Her යසෝගේ කතාව පමණක් නොවේ. යුද්ධයෙන් බැට කෑ සිංහල වේවා දෙමළ වේවා කුමන හෝ පෙම්වතියකගේ, බිරිඳකගේ කතාවක් ලෙස සිනමා බසින් කීමට ප්‍රසන්න විතානගේ සමත් වෙයි. ප්‍රසන්නගේ චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂ චරිතය රඟපාන අසෝක හඳගම සැබෑ ජීවිතයේ අසෝක හඳගම භූමිකාව තම මිත්‍රයා වෙනුවෙන් අපූරුවට ඉටු කරයි. ඔහු රඟපානවා යැයි නරඹන්නට නොදැනේ. එහෙත් සැබැවින්ම ඔහුගේ භූමිකාව ඔහුගේම චරිතය නොවේද? අධ්‍යක්ෂ භූමිකාවෙන් ඔබ්බට ගිය නළු භූමිකාව ප්‍රතිනිර්මාණය කිරීමෙහි ලා හඳගම වෙතින් පළ වූ රංගන ප්‍රතිභාව චිත්‍රපටයට ආලෝකයකි. රූපණය සඳහා පුරුදු පුහුණු කළ ජනප්‍රිය තාරකාම අනවශ්‍ය බව ප්‍රසන්න ගේ අධ්‍යක්ෂණයෙන් ඔහු ඔප්පු කරයි.

විමුක්තිගේ Him ප්‍රසන්නගේ විෂයයෙහිම නවතම දිගුවක් සේ පෙනේ. නැඟෙනහිර ගම්මානයක සිංහල ගුරුවරයා, විදුහල්පතිතුමා, එගමෙහිම සිංහල මවකට දාව පුනරුත්පත්තිය පවසන කුඩා දරුවකුගේ කතාව තුළින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා මුහුණපානා ප්‍රශ්නාවලියක් දිග හැරේ. පුනරුත්පත්ති කතාව ඔස්සේ එල්ටීටියට දමිළ තරුණයන් එක්වීමේ සාධක, එල්ටීටීයේ නැවත ඉපදීමක් නොව, එවැනි සාමාජිකයෙකුගේ පුනරුත්පත්ති කතාවක ඡායාමාත්‍ර පුවතක් පවා සිංහල ජාතිවාදීන්ගේ ජාත්‍යාලය නමැති ගිනි සිළුව දල්වන්නේ යැයි විමුක්තිගේ රචනයෙන් පැවසේ. පුනරුත්පත්ති කතාව කියන සිංහල දරුවා හා ඔහුගේ මව, මුස්ලිම් රියැදුරා, සිංහල ගුරුවරයා, විදුහල්පතිතුමා ආදී චරිත මගින් අද තිබිය යුතු යැයි විශ්වාස කෙරෙන සංහිඳියාව, සහජීවනය ඊනියා ජාතිවාදී දේශපාලන බලවේග විසින් යථාර්ථයක් බවට පත් නොකොට ඇති තත්ත්වය ඔහු සාකච්ඡා කරයි.

එහිදී ඇතැම් ජාතිවාදයට නැඹුරු සිංහල බෞද්ධ ජන මාධ්‍ය විසින් සංහිඳියාව හෝ සහජීවනය වෙනුවට ක්‍රෝධය වෛරය වැපිරීමට මාධ්‍ය නින්දිත ලෙස භාවිත කරනු ලැබීම නිරුවත් කිරීමටත් විමුක්ති සමත් වෙයි. සිංහල ගුරුවරයා කේන්ද්‍ර කොට ගත් කතා පුවත මගින් එකිනෙකා අතර ඇති දුරස්ථභාවය, අන්තර් සබඳතා බිඳවැටීමට එකිනෙකාගේ භාෂාව බලපාන්නේ කෙසේද යන්න Him ඔස්සේ ප්‍රේක්ෂකයන් දැනගනී. ඇතැම් අවස්ථාවක සිංහල ගුරුවරයාගේ රංගනය (Overact) අතිරූපණ ස්වභාවයක් පෙන්නුම් කළාද කියා සිතිණ, එහෙත් සමස්ත සිනමා කාර්යය තුළ තිර රචනය, අධ්‍යක්ෂණය, විමුක්තිගේ සිනමා භාවිතාවෙහි අනන්‍ය ලක්ෂණ විශද කළ බව හැඟේ. පූර්ව යුද සමය තුළ ඔහු නිර්මාණය කළ සුළඟ එනු පිණිස වැනි චිත්‍රපටයකට එරෙහිව නැඟුණු විරෝධය හමුවේ නොසැලුණු විමුක්ති, සිනමාකරුවාගේ කාර්යභාරය කුමක්දැයි මැනවින් කීමට සමත් වෙයි.

තුන්දෙනෙකුගෙන් තුන්වැන්නා අසෝක හඳගමයි. ඔහු ලියා අධ්‍යක්ෂණය කරන්නේ The Other චිත්‍රපටය. එය කවුරුන් පිළිබඳ නිර්මාණය වූවක්ද? මව්වරුන්? පුතුන් අහිමි වූ, පුතුන් අබාධිත වූ මව්වරුන්? එල්ටීටීඊ කොටි සංවිධානයේ අණට කීකරු වී කොටි හමුදාවට බැඳුණු, අද වන තෙක් කොහි ගියේද, කුමක් සිදු වූයේද යන්න නොදන්නා පුතකු සොයනා උතුරේ මවක්. ජාතිය ගලවාගැනීමට හමුදාවට බැඳී උතුරේ යුද මෙහෙයුම්වල නිරතව සිට ජීවිතය රැකගෙන, එහෙත් අබාධිත වූ දකුණේ සෙබළ පුතකු හා ඔහුගේ මවක්? මේ මවුන් දෙදෙනාම අපට මව්වරුන් වේ. උතුරෙන් දකුනට පැමිණ අපගේ නැතිවූ පුතුන් සොයා දියව් කියමින් සටන් පාඨ, පෙළපාලි, විසාල බැනර් සහිත පා ගමනින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක්ද? ඔවුන් සෙවණේ හැදී වැඩුණු , එල්ටීටීඊය විසින් යුද අරමුණු සඳහා බඳවා ගත් දමිළ තරුණයන්? මේ මවුන්ගේ හද කැකෑරෙන විරෝධය, වෛරය සාධාරණය. කොළඹ නගරයේ අබාධිත රණවිරු පුතු හා ජීවත්වන මව, තම පුතුගේ රුවට සමාන පුතකු ගේ රුවක් දැකීමෙන් පසු, ඈ දුටුවේ තමාගේම නැති වූ පුතුය යන සිහිනයෙන් ඔහු සොයමින් දිනක දෙකක ගමනක යෙදෙන්නීය. රියදුරෙකු, පුතු සොයනා මවක් මෙන්ම උතුරින් පැමිණි මානව හිමිකම් සඳහා අරගල කරන කාන්තා ක්‍රියාකාරිණිය ද නැති පුතුන් සොයනා පිරිස අතර වේ. උතුරින් පැමිණ තම නැතිවූ පුතුන් සොයා දෙන්නැයි රජයට හඬ ගා කියන මවගේ මනෝ ලෝකයෙහි ජීවත්වන පුතු ඈ දකී. එහෙත් සැබවින්ම ඔහු ඇයගේ පුතු නොවේ. නිල ඇඳුමින් සැරසුණු රණවිරු සෙබළෙක්ය. ඔහුගේ මව පවසන්නේ “දෙය්යන්ගේ පිහිටෙන් මගේ එකා නම් කකුලක් නැතුව හරි ඇවිල්ලා. ඒ වුණත් මේ අම්මගේ පුතාට මොකද වුණේ කොහෙද ඉන්නෙ කියල කවුද දන්නෙ ?“ පශ්චාද් යුද සමයේ උතුරින් හෝ නැඟෙනහිරින් ඇසෙන මවකගේ විලාපය අප හද රිදවුම් නොකෙරේද? දකුණේ ආබාධිත රණවිරු පුතුගේ ජීවිතය රැක දී ඇත්තේ දෙවියන්ය. “දෙය්යන්ගෙ පිහිටෙන් මගේ එකා කකුලක් නැතුව හරි ඇවිත් ඉන්නවා “ දකුණේ මවගේ පිහිටට දෙවියෝ සිටිති. උතුරේ මවගේ පුතු ආ ගිය අතක් නොමැත. දකුණේ මවගේ පුතු රණවිරු සෙබළෙකු වීමත් උතුරේ මවගේ පුතු කොටි සාමාජිකයකු වීමත් ද දෙවියන්ගේ පිහිට නොලැබෙන හේතුව? හඳගම ඒ ප්‍රශ්නයට පිළිතුරක් අපෙන් අපෙක්ෂා කරයි. තම පුතු වන් තරුණ රුවක් දකින උතුරේ මවගේ ජීවිතාපේක්ෂාව අධ්‍යක්ෂවරයා ප්‍රබල මානුෂීය ජීවිතානුභූතියක් බවට පත් කරන්නේ, ඈ පුතු දැකීමේ සිහිනයෙන් මිදෙන්නට අකැමැති, ඒ සිහිනය තුළම ජීවත්වන මවක් ලෙස ප්‍රේක්ෂකයනට ඒත්තුගන්වමිනි. දරු සෙනෙහස සිංහල දමිළ, හෝ උතුරේද දකුණේ ද කියා රේඛාවක් ඇඳ වෙන්කොට සැලකිය හැක්කක්ද? හඳගම මවන චරිත අතර, ප්‍රේක්ෂකයන් දකින පුතු සොයන මව හා කොළඹට පැමිණි කාන්තා ක්‍රියාකාරිණිය ත්‍රිරෝද රියැදුරු, පොලීසියේදී ඇසෙන හරස් ප්‍රශ්නාවලිය ඒවාට ලැබෙන පිළිතුරු, ඉන්පසු පොලීසියෙන් ලැබෙන උපහාසාත්මක ප්‍රතිචාර සමඟ හඳගම The Other තිරරචනයෙන් ගොඩනඟන්නේ දකුණේ නරඹන්නන්ගේ හදවතට ප්‍රශ්නාවලියක් එක්කිරීමෙන් උතුරේ මවගේ සාධාරණ ඉල්ලීමට පිළිතුරක් සොයා දෙන්නැයි කරනු ලබන ඉල්ලීමක් ලෙසිනි. අතිශයින් හෘදසංවේදී ජීවිතානුභූතියක් තුළින් හඳගම අප අමතා ප්‍රශ්න කරන්නේ උතුරේ එක් මවකගේ පමණක් නොව තවත් එවන් මවුන්ගේ දුක් දොම්නස් මකා දැමීමට අපට නොහැකිද නොහැකිද කියායි.

ජාතික සංහිඳියාව, සහජීවනය පශ්චාද් යුද සමයෙන් පසු අපගේ ජනජීවිතයට එක් වූ තවත් වචන දෙකක් පමණක් නොව,කුරිරු යුද්ධයක අනිටු ප්‍රතිඵල නිසා අද දවසේත් බැට කන හා දුකින් නොමිදුණු චරිත සමුදායක ජීවිත පිළිසකර කිරීමට අත්‍යවශ්‍ය අර්ථවත් වචන දෙකකි. ප්‍රසන්න, විමුක්ති, හා අසෝක තම ප්‍රකාශන මාධ්‍යය ඔස්සේ අප හදවත් අමතා පවසන්නේ ජාතික සංහිදියාව, සහජීවනය යළි ගොඩනැඟීමට නම් එකෙනෙකා අතර ඇති බිය සංකාව තුරන්වූ ආකල්ප සහිත ජනසමාජයක් බිහිවිය යුතු බවයි. තුන්දෙනෙක් සිනමාව ඉල්ලා සිටිනේ එයයි. චිත්‍රපට ත්‍රිත්වයේම නළුවරණය (Casting) පිළිබඳ කිසිවක් කීමට අවශ්‍ය නොවේ. මන්ද යත් අප දන්නා හඳුනන මල්කාන්ති ජයසිංහ හැරුණු කල, සෙසු සියල්ලෝ අධ්‍යක්ෂ ප්‍රතිභාවෙහි අපූරු මහරු ඵල සේ අපට පෙනෙන බැවිනි.

වර්තමාන ශ්‍රී ලංකා ජනසමාජයෙහි අදත් අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ පවතින ජාත්‍යාල ව්‍යාජයෙන් මිදී ජීවිතය දෙස, මනුෂ්‍යත්වය දෙස මැදහත් ඇසකින් බලන්නැයි කරනු ලබන ඉල්ලීම කිසිදු හේතුවක් නිසා බැහැර කළ හැක්කක් නොවේ. ඒ සඳහා පෙරමුණ ගත් සිනමාකරුවන් ත්‍රිත්වය අප ඉදිරියේ, අපට ප්‍රදානය කොට ඇති නිර්මාණාවලිය, සංහිඳියාව, සහජීවනය, ජාතීන් අතර සුහදත්වය වැනි වචන සමඟ හුරතල්වන ව්‍යාජ සිනමාකරුවන්ට, කලාකරුවන්ට එල්ල කළ අතුල් පහරක් වැන්න.

බුද්ධදාස ගලප්පත්ති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

lankaflix

fox final 0728 mirror